after-the-death-of-the-hollywood-actress-special-attention-was-paid-to-the-blood-clot-in-the-lungs

සම්මානනීය රංගන ශිල්පිනී කැතරින් ඕ'හාරාගේ අභාවයට හේතුව පෙනහළුවල රුධිර කැටියක් සිරවීම හෙවත් පුල්මොනරි එම්බොලිස්ම් (Pulmonary Embolism) තත්ත්වය බව ඇමරිකා එක්සත් ජනපදයේ නිකුත් කරන ලද මරණ සහතිකයෙන් තහවුරු වී තිබේ. මෙම මරණය සමග මෙකී පෙනහළු රෝගය ගැන ලෝකය පුරා විශේෂ අවධානයක්ද යොමුව ඇත.




පසුගිය ජනවාරි 30 වන දින ලොස් ඇන්ජලීස් හි රෝහලකදී ඇය මිය යන විට 71 වන වියේ පසු වූ අතර, පෙනහළුවල ඇති වූ රුධිර කැටියට අමතරව දීර්ඝ කාලීන මරණ හේතුව ලෙස ගුද මාර්ගයේ පිළිකා තත්ත්වයක් ද මරණ සහතිකයේ සඳහන් කර ඇත.

වාර්තා වන ආකාරයට ඇය 2025 වසරේ මාර්තු මාසයේ සිට මෙම පිළිකා තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබමින් සිට ඇත.




කැතරින් ඕ'හාරා ඇයගේ සැමියා වන බෝ වෙල්ච්, පුතුන් වන මැතිව් සහ ලූක් මෙන්ම සහෝදර සහෝදරියන් හය දෙනෙකු ද මෙලොව තනි කර ගියාය.

එන්.එච්.එස් (NHS) ආයතනයට අනුව, ඇයගේ මරණයට හේතු වූ පුල්මොනරි එම්බොලිස්ම් යනු පෙනහළුවල රුධිර නාලයක් රුධිර කැටියකින් අවහිර වීමෙන් ඇතිවන ජීවිතයට තර්ජනයක් විය හැකි බරපතල තත්ත්වයකි.



මෙම අවහිර වීම නිසා පෙනහළුවල කොටසකට සාමාන්‍ය රුධිර ගලනය නතර වී ඔක්සිජන් හුවමාරුව අඩාල වන අතර හදවතට දැඩි පීඩනයක් එල්ල කරයි; බොහෝ විට මෙය සිදුවන්නේ පාදවල හෝ ශ්‍රෝණිය ප්‍රදේශයේ ගැඹුරු නහරයක (Deep Vein Thrombosis - DVT) හටගන්නා රුධිර කැටියක් කැඩී රුධිරය හරහා ගමන් කර පෙනහළු ධමනි තුළ සිරවීමෙනි.

හදිසියේ හුස්ම ගැනීමේ අපහසුව, හුස්ම ගැනීමේදී වැඩි වන පපුවේ වේදනාව සහ කැස්ස සමඟ රුධිරය පිටවීම මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වේ.

දීර්ඝ වේලාවක් එකතැන සිටීම (උදාහරණයක් ලෙස දිගු ගුවන් ගමන්), මෑතකදී සිදු කළ ශල්‍යකර්ම, පිළිකා වැනි රෝගී තත්ත්වයන් සහ දුම්පානය වැනි සාධක මෙම අවදානම ඉහළ නංවන අතර හදිසි හුස්ම ගැනීමේ අපහසුතාවක් හෝ පපුවේ වේදනාවක් ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

after-the-death-of-the-hollywood-actress-special-attention-was-paid-to-the-blood-clot-in-the-lungs

after-the-death-of-the-hollywood-actress-special-attention-was-paid-to-the-blood-clot-in-the-lungs

after-the-death-of-the-hollywood-actress-special-attention-was-paid-to-the-blood-clot-in-the-lungs