වර්තමානය වන විට බෝතල් කළ බීම වර්ග, යෝගට් සහ විවිධ රසකාරක අතුරුපස ඇතුළු බොහෝ සැකසූ ආහාරවල සීනි බහුලව අඩංගු වී ඇති බැවින්, පෝෂණවේදීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවම වශයෙන් මාසයක්වත් සීනි භාවිතයෙන් වැළකී සිටීම සලකා බලන ලෙසයි.
සීනි භාවිතය නතර කළ මුල් දින කිහිපය තුළ නුරුස්නා ගතිය, තෙහෙට්ටුව, කනස්සල්ල හෝ මනෝභාවය පහත වැටීම වැනි ලක්ෂණ ඇති විය හැකි බව ගුරුග්‍රෑම් හි අභ්‍යන්තර වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපදේශක වෛද්‍ය තුෂාර් තයාල් පවසයි. ඊට ප්‍රධාන හේතුව වන්නේ මොළයට සීනි මගින් ලැබෙන ඩෝපමයින් (Dopamine) උත්තේජනය නොලැබී යාමයි. සිරුර මෙම හදිසි වෙනසට හුරුවන විට හිසරදය සහ සීනි කෑමේ දැඩි ආශාවක් ඇතිවීම මෙම මුල් අවධියේදී සාමාන්‍ය තත්ත්වයකි.
කෙසේ වෙතත් මෙය හුදෙක් ශරීරය පිරිසිදු කරන කෙටි කාලීන වැඩසටහනකට වඩා දීර්ඝ කාලීන සෞඛ්‍ය ආයෝජනයක් ලෙස දැකිය යුතු බව විශේෂඥයෝ පෙන්වා දෙති. සති දෙකක් ගතවන විට රුධිරයේ සීනි මට්ටම ස්ථාවර වීමට පටන් ගන්නා අතර එමගින් හදිසියේ ශක්තිය හීන වීම සහ අධික කුසගින්න ඇතිවීම පාලනය වේ. මෙහිදී ඉන්සියුලින් හෝමෝනය වඩාත් කාර්යක්ෂමව හැසිරවීමේ හැකියාව සිරුරට ලැබෙන අතර, ඉන්සියුලින් මට්ටම අඩුවීමත් සමඟ සිරුරේ තැන්පත් වී ඇති මේදය දහනය වීමට පටන් ගැනීම බර අඩු කරගැනීමේ මූලික ලක්ෂණයකි.
සති තුනකට පසු සීනි නොගැනීමේ යහපත් ප්‍රතිඵල වඩාත් හොඳින් දැකගත හැකි වේ. විශේෂයෙන්ම සමේ ඇතිවන කුරුලෑ සහ ප්‍රදාහය (Inflammation) අඩුවී සම පැහැපත් වන අතර, සීනි මට්ටම පහත වැටීම නතර වීම නිසා මානසික ඒකාග්‍රතාවය සහ අවධානය ද ඉහළ යයි. කැලරි ප්‍රමාණය අඩුවීම සහ හෝමෝන ක්‍රමවත් වීම නිසා බර අඩුවීම වේගවත් වන අතර අධික කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ මේද සහිත අක්මා රෝග ඇතිවීමේ අවදානම ද සැලකිය යුතු ලෙස පහව යයි.
මෙලෙස පැණි බීම, රසකැවිලි සහ බේකරි නිෂ්පාදනවලින් ඈත්වන විට බොහෝ දෙනා පලතුරු, ඇට වර්ග සහ කිරි වැනි වඩාත් පෝෂ්‍යදායී ආහාරවලට යොමුවන බව ඩ්වාර්කා හි මැක්ස් සුපර් ස්පෙෂලිටි රෝහලේ සායනික පෝෂණවේදිනී උපාසනා පර්ව් කල්රා පවසයි. පැණිරස බිස්කට් වෙනුවට බෙරි වර්ග, රට ඉඳි හෝ යෝගට් වැනි දේ තෝරා ගැනීමෙන් සිරුරට ප්‍රතිඔක්සිකාරක ලැබෙන අතර ආමාශයේ සෞඛ්‍යය ද දියුණු වේ. එමෙන්ම දවස පුරා අලස බවකින් තොරව ක්‍රියාශීලීව සිටීමට ද මෙය මහත් රුකුලක් වේ.
සීනි පරිභෝජනය සිරුරේ ප්‍රදාහය වැඩි කිරීමට හේතු වන අතර එය කුරුලෑ ඇති කිරීමට සහ අකලට වයසට යාමට බලපායි. සති කිහිපයක් සීනි භාවිතයෙන් වැළකී සිටීමෙන් පසු බොහෝ දෙනා පවසන්නේ තම සමෙහි පැහැදිලි වෙනසක් සහ ඉදිමුම් ගතිය අඩුවීමක් දක්නට ලැබෙන බවයි. මීට අමතරව දින 30ක් සීනි නොගෙන සිටීමෙන් දිවෙහි රස නහර නැවත යථා තත්ත්වයට පත්වන අතර, එවිට පලතුරක ස්වභාවික පැණි රස පවා ඉතා හොඳින් දැනෙන්නට පටන් ගනී.
බොහෝ දෙනා සීනි පාලනය අලුත් අවුරුද්දට හෝ යම් කාලයකට පමණක් සීමා කරන නමුත්, අර්ථවත් වෙනසක් සඳහා එය ජීවන රටාවේ කොටසක් කරගත යුතු බව විශේෂඥයින් අවධාරණය කරයි. රසකැවිලිවලට අමතරව සෝස් වර්ග, පාන්, ධාන්‍ය ආහාර සහ ලුණු රසැති පැකට් කළ ආහාරවල පවා සැඟවුණු සීනි අඩංගු බැවින් පාරිභෝගිකයින් ආහාර ලේබල් කියවා අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ.
සම්පූර්ණයෙන්ම සීනි කපා හැරීමට අපහසු නම් පැණි, හකුරු හෝ රට ඉඳි වැනි ස්වභාවික ආදේශකයක් සීමා සහිතව භාවිතා කළ හැකි වුවත් ඒවා මගින් ද රුධිර සීනි මට්ටමට බලපෑම් එල්ල වන බව සිහි තබා ගත යුතුය. ඒ වෙනුවට කුරුඳු, එනසාල් සහ වැනිලා වැනි කුළුබඩු වර්ග ආහාරයට එක් කර ගැනීමෙන් සීනි නොමැතිව වුවද ආහාරවල රසය වැඩි කරගත හැකිය. පලතුරු, එළවළු, ප්‍රෝටීන් සහ තන්තු බහුල ආහාර වේලක් ලබා ගැනීම මගින් සීනි කෑමේ ආශාව මැඩපවත්වා ගනිමින් නිරෝගී ජීවිතයක් ගත කිරීමට හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති.
(India Today ඇසුරිනි)