metro-bus-service-from-next-august

පොදු ජනතාවට ගෞරවනීය මෙන්ම විශ්වාසදායක සේවාවක් සැලසීම උදෙසා මෙරට සමස්ත ප්‍රවාහන පද්ධතියම කඩිනම් පරිවර්තනයකට ලක්කිරීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (12) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර, ආර්ථික තරගකාරීත්වය, පාරිසරික තිරසරභාවය, ඩිජිටල් පරිවර්තනය, සමාජ සමානාත්මතාවය සහ ආරක්ෂාව යන කුළුණු පහක් ඔස්සේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කිරීමට අදාළ උපායමාර්ගික සැලැස්ම පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.




කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදය පාලනය කිරීමේ අරමුණින් 'Lanka Metro Transit' බස් රථ සේවාව හඳුන්වා දීමට නියමිත අතර, ඊට අදාළ බස් රථ මේ වසරේ අගෝස්තු මාසය වන විට මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබේ. කොළඹ අවට ප්‍රධාන මාර්ග හයක් කේන්ද්‍ර කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමටත්, මගී ජනතාව පොදු ප්‍රවාහනය වෙත ආකර්ෂණය කර ගනිමින් ඉදිරි වසර තුන තුළ මහනුවර සහ ගාල්ල ඇතුළු ප්‍රධාන නගර අටක් දක්වා මෙම සේවාව ව්‍යාප්ත කිරීමටත් අපේක්ෂා කෙරේ.

පවතින විසිරුණු බස් සේවාව වෙනුවට ප්‍රවාහන සමාගම් හෝ පොකුරු (Clusters) ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා, ලාභය පිළිබඳ ගැටලුවක් මතු වුවහොත් රජයේ සහාය ලබා දිය හැකි බවත්, ජනතාවට අවශ්‍ය වන්නේ ක්‍රමවේදය කෙසේ වුවත් තමන්ට යහපත් ප්‍රවාහන සේවාවක් ලැබීම බවත් පෙන්වා දුන්නේය. බස් හිමියන් සහ අදාළ සමාගම් අතර මෙන්ම රජය සහ සමාගම් අතර ගිවිසුම්ගත වීම හරහා අඛණ්ඩ සේවාවක් සහතික කළ හැකි බව ද ජනාධිපතිවරයාගේ අදහස විය.




බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සැලසුම් කිරීමේදී දුම්රිය සේවාව කේන්ද්‍ර කර ගනිමින් අනෙකුත් ප්‍රවාහන සේවා ඒ වටා ඒකරාශී විය යුතු බවත්, කැලණිවැලි දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හා අධිවේගී මාර්ග සඳහා ඉලෙක්ට්‍රෝනික ගෙවීම් ක්‍රමවේද හඳුන්වා දීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි. මීට අමතරව පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවකයන්ට විධිමත් පත්වීම් ලිපි ලබා දීම ඇතුළු සුබසාධන කටයුතු විධිමත් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

රියදුරු බලපත්‍ර සඳහා වසර දහයක් තිස්සේ චිප් එකක් නිකුත් කළ ද ලකුණු කැපීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අදාළ මෘදුකාංග පද්ධතියක් සකස් කර නොතිබූ බවත්, Gov.pay හරහා ඉදිරි මාස කිහිපය තුළ එම ක්‍රමවේදය නිවැරදිව ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය විය. ත්‍රී රෝද රථ සහ පාසල් වෑන් රථ නියාමනය සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, සිසු සැරිය සේවාව සඳහා වෙන් කළ මුදල් ඵලදායී ලෙස භාවිත කරමින් සිසුන්ට සෘජු ප්‍රතිලාභ ලැබෙන සේ එම සේවාව පුළුල් කිරීමටත් රජයේ අවධානය යොමු වී තිබේ.