madush-murder-investigation-in-makandure-is-requested-to-be-removed-from-the-palace-and-handed-over-to-cid

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී වෙඩි වැදී ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරිය යුතු බවට ඔහුගේ පාර්ශවයේ නීතිඥවරුන් අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. මාලිගාවත්ත පොලිසිය විසින් මේ දක්වා සිදුකර ඇති විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බව පවසමින් මධුෂ්ගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම ඉල්ලීම සිදුකළේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය හමුවේදීයි.




පසුගිය රජය පැවති සමයේදී මෙම සිද්ධියට අදාළව අධිකරණය හමුවට ඒමට හෝ නීතිමය පියවරක් ගැනීමට මධුෂ්ගේ බිරිඳ දැඩි බියකින් පසුවූ බවත්, ඊට හේතුව එවකට සිටි පොලිස් නිලධාරීන් සහ දේශපාලනඥයින් මෙම සිදුවීමට සම්බන්ධ වී සිටීම බවත් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට අනාවරණය කර සිටියා. පොලිස් භාරයේ සිටියදී සිදුවූ මෙම මරණය අතිශය සැකසහිත බැවින් මාලිගාවත්ත පොලිසියෙන් මෙම විමර්ශන ඉවත් කළ යුතු බව නීතිඥ සේනක පෙරේරා ඇතුළු නීතිඥ මණ්ඩලය පෙන්වා දුන්නා.

කෙසේ වෙතත්, අධිකරණ සේවා කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව දැනට පවතින විමර්ශනයක් අදාළ ආයතනයෙන් ඉවත් කර වෙනත් ආයතනයකට පැවරීමේ නීතිමය හැකියාවක් නොමැති බව පවසමින් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. යම් හෙයකින් වත්මන් විමර්ශන කටයුතු නිසි පරිදි සිදු නොවන බව හැඟී යන්නේ නම් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි බවට තමන් පෙර නඩු වාරයේදී ද උපදෙස් ලබා දුන් බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් සිහිපත් කර සිටියා.