manoj-udayanga-shot-former-jail-superintendent-siridath-dhammi-before-lawyer-mallavarachchi

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරුට සැඟවී සිටීම සඳහා නවාතැන් පහසුකම් සැපයූ නිවාස හිමිකරුවෙකු අද (26) පස්වරුවේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මොනරාගල පොලිසිය විසින් සිදු කරන ලද මෙහෙයුමකදී මැදගම, නන්නපුරාව, දිවියාපොල ප්‍රදේශයේ පිහිටි නිවසකදී මෙම සැකකරු කොටුකරගෙන ඇති අතර, ඔහුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතව පවතී.




මෙම ද්විත්ව ඝාතනයට අදාළව ඊයේ දිනයේදී මොනරාගලදීම අත්අඩංගුවට ගත් කනංකේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි මනෝජ් උදයංග ප්‍රධාන වෙඩික්කරුව පැය 72ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පියවර ගෙන ඇත. එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම අපරාධය පිළිබඳ තොරතුරු රැසක් ඔහු විසින් හෙළි කර තිබේ. ඝාතනයට ලක්වූ නීතීඥවරයා අතීතයේදී තමන්ගේ නඩු දෙකකට පෙනී සිට ඇති බැවින්, අකුරේගොඩට පැමිණි අවස්ථාවේදී ‘බුද්ධික මගේ නඩු දෙකට පෙනී හිටපු නිසා මාව අඳුරනවා’ යැයි සැකකරු විසින් තමා සමඟ පැමිණි අනෙක් වෙඩික්කරුට පවසා ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරුව ඔවුන් ගමන් කළ මෝටර් රථය පසෙකින් නවත්වා, නීතීඥවරයා ආසන්නයටම ගොස් මෙම වෙඩි තැබීම සිදුකළ බව ඔහු පාපොච්චාරණය කර තිබේ. මීට අමතරව බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරීමේ සිද්ධියද තමන් විසින් සිදුකළ බව සැකකරු විසින් හෙළිකර ඇත. “කරන්දෙණියේ සුද්දා” නැමැත්තාගේ උපදෙස් මත “ලලා” නමැති තවත් වෙඩික්කරුවෙකු සමඟ ගොස් එම ඝාතනය සිදුකළ බවත්, එහිදී ධම්මික මහතාට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කළේ තමා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. එමෙන්ම දකුණු පළාතේ සිදු වූ තවත් ත්‍රිත්ව ඝාතනයකටද තමන් සම්බන්ධ බව හෙතෙම පිළිගෙන තිබේ.බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික අක්මීමන මහතා තලගහපිටියේ පිහිටි ඔහුගේ නිවසේදී 2025 මාර්තු 13 වැනි දින සවස් කාලයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු පොලිස් විමර්ශන දැඩි ලෙස ඉදිරියට පවත්වාගෙන ගොස් අවුරුදු 31ක් වූ අම්බලන්ගොඩ, කුලිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද මින් පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.




මේ අතර අදාළ ප්‍රහාරය එල්ල කිරීමට පෙර පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක් වෙත මෙම සැකකාර වෙඩික්කරු පැමිණෙන ආකාරය සටහන් වූ සීසීටීවී දර්ශන කිහිපයක්ද ආරක්ෂක අංශ වෙත ලැබී ඇත. පොලිසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගත් “ජානක” නමැති පුද්ගලයෙකු විසින් සැකකරුව එම ලැගුම්හල වෙත කැඳවාගෙන එන අයුරු එකී දර්ශනවල පැහැදිලිව දැකගත හැකිය.