වීසා නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා නීති විරෝධී පිරමීඩ ජාවාරම්වල නිරත වූ බව කියන චීන ජාතිකයන් දහසය දෙනෙකු ඊයේ (23) දින කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ 05, ජාවත්ත පාරේ දොන් කරෝලිස් මාවතේ පිහිටි ස්ථානයක මෙම පිරිස මීට දින කිහිපයකට පෙර තාවකාලිකව පදිංචි වී සිට ඇත. අදාළ ස්ථානයේ කිසියම් නීති විරෝධී ක්‍රියාවක් සිදුවන බවට කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. සුජීව කුමාර මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වික්‍රමරත්න මහතා ඇතුළු කණ්ඩායමක් විසින් අදාළ වැටලීම සිදු කර ඇත.
මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි 3,280ක් පොලිස් භාරයට ගෙන තිබේ. ඊට අමතරව එම නවාතැන්පොළ තවදුරටත් සෝදිසි කිරීමේදී ඔවුන්ගේ ජාවාරම සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණක 23ක්, ජංගම දුරකථන 11ක්, අන්තර්ජාල රවුටර 07ක් සහ හඬ පරිවර්තන යන්ත්‍ර 09ක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
වයස අවුරුදු 23ත් 40ත් අතර පසුවන මෙම චීන ජාතික සැකකරුවන් මෙරට සිට විදේශ රටවල් සමඟ සබඳතා පවත්වමින් විවිධ පුද්ගලයින් රවටා මෙම මූල්‍ය වංචාවන් සිදු කර ඇති බවට මූලික පොලිස් විමර්ශන මගින් තහවුරු වී තිබේ. අත්අඩංගුවට පත් වූ පිරිස ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.