රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ඝාතනය කිරීම සඳහා දකුණු ඇමෙරිකානු 'ඩාර්ට් ගෙම්බෙකුගෙන්' (dart frog) ලබාගත් විෂක් භාවිතා කර ඇති බව බ්‍රිතාන්‍යය සහ යුරෝපීය මිත්‍ර රටවල් අනාවරණය කර ඇත. සයිබීරියාවේ බන්ධනාගාරයක් තුළදී ඔහු මියගොස් වසර දෙකකට පසු ඔහුගේ සිරුරෙන් ලබාගත් සාම්පල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, මෙම ඝාතනයේ වගකීම ක්‍රෙම්ලිනය වෙත එල්ල කර තිබේ.
මියුනික් ආරක්ෂක සමුළුවේදී එක්සත් රාජධානිය, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය සහ නෙදර්ලන්තය යන රටවල් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණු තහවුරු කරන ලදී. එහිදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉවෙට් කූපර් ප්‍රකාශ කළේ, නවාල්නි රුසියාවේ සිරගත කර සිටියදී මෙම විෂ භාවිතා කිරීමට අවශ්‍ය මාධ්‍යයන්, චේතනාව සහ අවස්ථාව තිබුණේ රුසියානු රජයට පමණක් බවත්, දේශපාලන විරුද්ධවාදීන් කෙරෙහි රුසියාව තුළ ඇති බිය මින් පෙන්නුම් කරන බවත්ය.
නවාල්නිගේ සිරුරේ තිබී සොයාගත් 'එපිබැටිඩින්' (epibatidine) නමැති මෙම විෂ ස්වභාවිකව හමුවන්නේ දකුණු ඇමෙරිකාවේ වනාන්තරවල ජීවත් වන ඩාර්ට් ගෙම්බන්ගෙන් පමණි. කූඩු කර ඇති ගෙම්බන් මෙම විෂ නිපදවන්නේ නැති අතර, එය රුසියාවේ ස්වභාවික පරිසරය තුළ දක්නට නොලැබෙන බැවින් නවාල්නිගේ සිරුරේ එය තිබීම සම්බන්ධයෙන් කිසිදු සාධාරණීකරණයක් ඉදිරිපත් කළ නොහැකි බව මිත්‍ර රටවල් අවධාරණය කරයි.
බීබීසී රුසියානු සේවයට අදහස් දක්වමින් විෂවේද විශේෂඥ ජිල් ජොන්සන් පැහැදිලි කළේ, මෙම විෂ මෝෆීන්වලට වඩා 200 ගුණයකින් ප්‍රබල බවයි. මධ්‍යම ස්නායු පද්ධතියට බලපෑම් කිරීම හරහා මාංශ පේශි අකර්මණ්‍ය වීම, වලිප්පුව, හෘද ස්පන්දනය මන්දගාමී වීම, හුස්ම ගැනීමේ අපහසුතා සහ අවසානයේ මරණයට පවා මෙය හේතු වේ. නිශ්චිත ආහාර රටාවකට හුරුවූ එක් වනගත ගෙම්බන් විශේෂයකින් පමණක් ඉතා සුළු ප්‍රමාණයක් ලබාගත හැකි බැවින්, මෙය පුද්ගලයෙකුට වස දීම සඳහා භාවිතා කළ හැකි අතිශය දුර්ලභ ක්‍රමයක් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
සමුළුව අතරතුරදී බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරිය හමුවූ නවාල්නිගේ බිරිඳ වන යූලියා නවාල්නයා, වසර දෙකක කාලයක් පුරා සිදුකළ සූක්ෂම පරීක්ෂණ හරහා සත්‍යය අනාවරණය කිරීම පිළිබඳව යුරෝපීය රටවලට සිය කෘතඥතාව පළ කළාය. තම සැමියාට වස දී ඇති බවට තමා පළමු දිනයේ සිටම විශ්වාස කළ බවත්, දැන් ඊට අවශ්‍ය සාක්ෂි ලැබී ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
නවාල්නිගේ අසමසම ධෛර්යය අගය කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාමර් සහ ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොයෙල් බැරෝ විසින් ඔහුට උපහාර පුද කරන ලදී. තවද, රසායනික අවි සම්මුතිය රුසියාව විසින් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් එක්සත් රාජධානිය විසින් මේ පිළිබඳව රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයටද නිල වශයෙන් දැනුම් දී තිබේ.
කෙසේ වෙතත්, ටාස් (Tass) ප්‍රවෘත්ති ඒජන්සියට අනුව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශිකා මරියා සකාරෝවා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, මෙය බටහිර රටවල පවතින ගැටලුවලින් අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ගෙන යන තොරතුරු ව්‍යාපාරයක් පමණක් බවයි. නවාල්නි ජීවතුන් අතර සිටියදී ඔහුගේ නම සඳහන් කිරීමෙන් පවා වැළකී සිටි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ඔහුගේ මරණයෙන් මසකට පසු එය "සැමවිටම කනගාටුදායක සිදුවීමක්" ලෙස පමණක් හැඳින්වීය. දූෂණයට එරෙහි ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ 47 හැවිරිදි නවාල්නි, 2020 වසරේදීද 'නොවිචොක්' (Novichok) නමැති ස්නායු විෂ ශරීරගත වීමෙන් දිවි ගලවා ගත් අතර, පසුව 2024 පෙබරවාරි 16 වන දින සයිබීරියානු සිරමැදිරියක් තුළදී අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත් විය.