2025 ජුනි 12 වැනි දින ඉන්දියාවේ අහමදාබාද් සිට ලන්ඩන් බලා පියාසර කරමින් තිබියදී ගුවන්ගත වී තත්පර කිහිපයකින් කඩා වැටුණු එයාර් ඉන්දියා (Air India) සමාගමට අයත් බෝයිං 787-8 ගුවන් යානයේ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ පවුල් වෙත අවසන් වන්දි ගෙවීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර තිබේ. කෙසේ වෙතත්, මෙම වන්දි මුදල ලබා දීම සඳහා ගුවන් සමාගම විසින් අගතියට පත් පවුල් වෙත දැඩි කොන්දේසියක් පනවා ඇති බව පීටීඅයි (PTI) ප්‍රවෘත්ති ඒජන්සිය සහ බ්‍රිතාන්‍යයේ 'දි ඉන්ඩිපෙන්ඩන්ට්' (The Independent) පුවත්පත වාර්තා කර ඇත.
එම කොන්දේසියට අනුව, අවසන් වන්දි මුදල ලබාගන්නා පවුල් අනාගතයේදී එයාර් ඉන්දියා සමාගමට, යානය නිෂ්පාදනය කළ සමාගමට හෝ රජයේ ආයතනවලට එරෙහිව කිසිදු රටක හෝ අධිකරණයක නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවට එකඟතාවය පළ කළ යුතු වේ.අදාළ එකඟතාවයට පැමිණීමෙන් පසු පවුලේ සාමාජිකයින්ට 'Discharge and Indemnity' නම් නීතිමය පෝරමයකට අත්සන් කිරීමට සිදුවන අතර, ගුවන් සමාගම විසින් අවසන් වන්දිය ලෙස රුපියල් ලක්ෂ 25ක් දක්වා මුදලක් ලබා දීමට යෝජනා කර ඇත. නීතිමය ප්‍රතිපාදන සහ පවුල්වල තත්ත්වය මත මෙම මුදල වෙනස් විය හැකි අතර, වන්දි මුදල රුපියල් ලක්ෂ 25ට වඩා අඩුවෙන් තීරණය වුවහොත් අමතර රුපියල් ලක්ෂ 10ක් හෝ 20ක් ලබා දීමටද සමාගම තීරණය කර තිබේ. මීට අමතරව, සෑම පවුලකටම AI-171 අනුස්මරණ සහ සුබසාධන භාරය මගින් රුපියල් කෝටියක සැනසිලි දීමනාවක් වෙනමම ලබා දෙන බවද වාර්තා වේ. එයාර් ඉන්දියා සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මූලික අතුරු දීමනාව ලබා දීමෙන් පසු සෑම පවුලකටම නීත්‍යානුකූලව සාධාරණ අවසන් වන්දියක් ලබා දීමට තම සමාගම කැපවී සිටින බවයි.
එසේ වුවද, වින්දිත පවුල් 130ක් නියෝජනය කරන නීතිඥ කණ්ඩායම එයාර් ඉන්දියා සමාගමේ මෙම කොන්දේසි සහිත යෝජනාවට දැඩි විරෝධය පළ කර ඇත. අනතුර සම්බන්ධයෙන් වන පරීක්ෂණ මෙතෙක් අවසන් වී නොමැති බවත්, වගකීම භාරගත යුත්තේ කවුරුන්ද යන්න තීරණය වී නොමැති පසුබිමක නඩු පැවරීමේ අයිතිය අත්හැරීමට බල කිරීම අසාධාරණ බවත් ඔවුහු පෙන්වා දෙති. තවද, මෙම අනතුරින් තුවාල ලැබූ ඇතැම් පුද්ගලයින්ගේ වෛද්‍ය ප්‍රතිකාර තවමත් සිදුකෙරෙමින් පවතින බවද නීතිඥ කණ්ඩායම අවධාරණය කර ඇත.
මේ අතර, ඉන්දියාවේ ගුවන් අනතුරු විමර්ශන කාර්යාංශය (AAIB) ප්‍රකාශ කර ඇත්තේ අහමදාබාද් ගුවන් අනතුර පිළිබඳ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන බවයි. අනතුරට හේතුව කාර්මික දෝෂයක් නොව නියමුවා විසින් හිතාමතාම ඉන්ධන සැපයුම විසන්ධි කිරීම බවට ඉතාලියේ 'Corriere della Sera' පුවත්පත විසින් නාඳුනන මූලාශ්‍ර උපුටා දක්වමින් පළ කළ වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව AAIB ආයතනය තහවුරු කර තිබේ. කිසිදු අවසන් නිගමනයකට මෙතෙක් එළඹ නොමැති බැවින්, අකාලික නිගමනවලට එළඹීමෙන් වළකින ලෙස ඔවුන් මාධ්‍යයෙන් ඉල්ලා ඇත. අනෙක් අතට, ඇමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් සේවා ආරක්ෂාව පිළිබඳ පදනම (FAS) අනුමාන කරන්නේ යානයේ විද්‍යුත් පද්ධතියේ (Electrical system) බිඳවැටීමක් හේතුවෙන් පද්ධති එකින් එක අක්‍රිය වී මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.
මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයද මැදිහත් වී ඇති අතර, විමර්ශන ක්‍රියාවලිය පිළිබඳ වාර්තාවක් සති 3ක් ඇතුළත ලබා දෙන ලෙස පෙබරවාරි 11 වැනිදා මධ්‍යම රජයට නියෝග කර තිබේ. AAIB පරීක්ෂණ කමිටුවේ සාමාජිකයින් 5 දෙනෙකුම සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයෙන් (DGCA) පත්කර ඇති බවත්, 8,000කට අධික ගුවන් නියමුවන් බෝයිං 787 යානා අනාරක්ෂිත බව පවසන බැවින් එය ගුවන්ගත කිරීම නැවැත්විය යුතු බවත් සේෆ්ටි මැටර්ස් (Safety Matters) රාජ්‍ය නොවන සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රශාන්ත් භූෂණ් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තර්ක කළේය. එබැවින් මෙම අනතුරට වෙනමම අධිකරණ පරීක්ෂණයක් (Court of Inquiry) අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය. මීට ප්‍රතිචාර දක්වමින් මධ්‍යම රජය සහ DGCA ආයතනය නියෝජනය කළ සොලිසිටර් ජනරාල් තුෂාර් මෙහ්තා ප්‍රකාශ කළේ නීතිඥවරයා සෑහීමකට පත්වන එකම ක්‍රමය ඔහුගෙම මූලිකත්වයෙන් කමිටුවක් පත් කිරීම පමණක් බවයි. කෙසේ වෙතත්, AAIB පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු ඒ පිළිබඳව තීරණය කළ නොහැකි බව අගවිනිසුරු සූර්යකාන්ත්ගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඬුල්ල ප්‍රකාශ කර ඇත.
Flightradar24 දත්ත සහ ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා නියාමකයා වන DGCA පෙන්වා දෙන පරිදි අදාළ අනතුරට ලක්වූ AI 171 ගුවන් යානය ජුනි 12 දින පස්වරු 1:39 ට 23 වැනි ධාවන පථයෙන් ගුවන්ගත වී ඇති අතර, මීටර් 190 ක (අඩි 625) උපරිම උසකට ළඟා වූ පසු නියමුවා විසින් ගුවන් ගමන් පාලක මැදිරිය වෙත හදිසි පණිවිඩයක් (Mayday call) නිකුත් කර තිබේ. ඊට ප්‍රතිචාරයක් ලැබීමට පෙරම යානයේ පසුපස කොටස නේවාසික ප්‍රදේශයක පිහිටි වෛද්‍ය නේවාසිකාගාර ගොඩනැගිල්ලක ගැටී කඩා වැටී ඇත. පැය 8,200ක පියාසර අත්දැකීම් ඇති ප්‍රධාන නියමුවා, පැය 1,100ක අත්දැකීම් ඇති සහාය නියමුවා සහ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු ද ඇතුළුව පුද්ගලයින් 242ක් යානයේ ගමන් කර ඇත. මෙම ඛේදවාචකයෙන් පුද්ගලයින් 270 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඒ අතරට විදේශිකයින් 60 දෙනෙකු මෙන්ම යානයේ ගමන් කළ මගීන් සහ කාර්ය මණ්ඩලයේ 241 දෙනෙකු ද අයත් වේ. අනතුරින් දිවි ගලවාගෙන ඇත්තේ යානයේ ගමන් කළ එක් මගියෙකු පමණි.