නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් නානුඔය නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු විසින් එම පාසලේ ඉගෙනුම ලබන සිසුවියකට සිදුකළ අමානුෂික පහරදීමක් හේතුවෙන් රෝගාතුර වූ සිසුවියක් නානුඔය ප්‍රාදේශීය රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව නානුඔය පොලිසිය සඳහන් කරයි.
එම පාසලේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක මෙලෙස ගුරුවරයාගේ දැඩි පහර කෑමට ලක්ව ඇති අතර, පහරදීම කෙතරම් දරුණු වී ද යත් සිසුවියට ඇති වූ අධික වේදනාව සහ කම්පනය හේතුවෙන් ඇයට ඉබේම මුත්‍රා පිටවීමක් ද සිදුව ඇති බව වාර්තා වේ.
සිද්ධියට සම්බන්ධ ගුරුවරයා විසින් සිසුවියගේ දෙමව්පියන් ද ඈඳා ගනිමින් ඉතා අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති අතර, පසුව ඇයගේ කම්මුල් සහ කන ප්‍රදේශයට දැඩි ලෙස පහර දී, අනතුරුව සිසුවියගේ හිස මේසයක් මත තබා තද කර ගුරුවරයාගේ වැලමිටෙන් ඇයගේ කොන්ද ප්‍රදේශයට පහර දී තිබේ.
මෙම පහරදීම හමුවේ දැඩි ලෙස බියට සහ වේදනාවට පත් සිසුවිය පාසල නිම වන තෙක් එම අපහසුතාවයන් සහ කිලිටි වූ නිල ඇඳුම සහිතවම පන්ති කාමරයේ රැඳී සිට නිවසට ගොස් ඇති අතර, නිවසට පැමිණි දියණියගෙන් දෙමව්පියන් කරුණු විමසීමේදී ඇය තමන්ට සිදුවූ අඩන්තේට්ටම් සහ ශරීරයේ ඇති තැලීම් හා අභ්‍යන්තර තුවාල පෙන්වා දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ දෙමව්පියන් සිසුවිය රෝහල් ගත කිරීමට සහ පොලිස් පැමිණිල්ලක් සිදු කිරීමට පියවර ගෙන ඇති අතර, අදාළ ගුරුවරයා මීට පෙර ද පාසලේ සිසුන්ට අමානුෂික ලෙස පහර දීම් සිදුකර ඇති බවත්, එක් අවස්ථාවකදී සිසුවෙකුට කොස්සකින් පහර දී ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම පැමිණිල්ලට අනුව සැකකාර ගුරුවරයා පොලිස් විමර්ශන සඳහා කැඳවීමට නියමිත අතර නානුඔය පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.