the-construction-work-of-gatambe-flyover-resumes-photos

වසර කිහිපයක් මුළුල්ලේ අතරමග නතර කර තිබූ මහනුවර, ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම අද (06) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.




හංගේරියානු රජයේ ණය ආධාර යටතේ රුපියල් බිලියන 14.37ක ඇස්තමේන්තුගත වියදමකින් 2021 වසරේදී මෙම ව්‍යාපෘතියේ මූලික වැඩකටයුතු ආරම්භ කළද, පසුගිය සමයේ රටේ පැන නැගුණු ආර්ථික අර්බුදය හේතුවෙන් එම ණය ආධාර අත්හිටුවීමට සිදුවීමත් සමඟ පාලමේ වැඩකටයුතු ද ඇණහිට තිබිණි. කෙසේ වෙතත්, රුපියල් බිලියන 12.27ක දේශීය අරමුදල් යොදවමින් නැවත ඇරඹූ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඉදිරි මාස 22ක කාලය තුළ නිම කිරීමට සැළසුම් කර තිබේ.

මීටර් 374ක දිගකින් යුත් මෙම ගුවන් පාලම විලියම් ගොපල්ලව මාවත ඔස්සේ ඉදි කෙරෙන අතර, එය ගන්නෝරුව මාර්ගයේ මහවැලි ගඟ දකුණු ඉවුර දෙසින් ආරම්භ වී ගැටඹේ මංසන්ධිය සහ දුම්රිය මාර්ගයට ඉහළින් ගමන් කිරීමට නියමිතය. පේරාදෙණිය මාර්ගය ඔස්සේ ඉදි කෙරෙන අතුරු ගුවන් පාලම දුම්රිය මාර්ගයට ඉහළින් ඇති ප්‍රධාන ගුවන් පාලම හා සම්බන්ධ වන අතර, එතැන් සිට එය මංතීරු තුනක් සහිතව විලියම් ගොපල්ලව මාවතට සම්බන්ධ වන සේ සකස් කෙරේ.




ගැටඹේ මංසන්ධිය ආශ්‍රිතව දීර්ඝ කාලයක සිට පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීම මෙන්ම දුම්රිය හරස් මාර්ගය වසා තැබීම නිසා රථවාහන ගමනාගමනයට සිදුවන ප්‍රමාදයන් මඟහරවා ගැනීම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණ වී තිබේ.



gossiplanka collage