icc-t20-world-cup-2026---sri-lanka-win-after-defeating-ireland

වනිඳු හසරංග සිය පන්දුවාරයේ දෙවැනි පන්දුව යැවීමෙන් අනතුරුව පාදයේ ආබාධයකට ලක්ව දැඩි වේදනාවෙන් පසුවුවද, එම අසීරුතාව මධ්‍යයේ සිය පන්දුවාර 4ම සාර්ථකව යවමින් ලකුණු 25කට කඩුලු 3ක් දවාගැනීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් අයර්ලන්තයට එරෙහිව ලකුණු 20ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කොළඹ ආර්.

ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟ පන්දුවාර විස්සයි-20 ආකෘතිය යටතේ අයර්ලන්තයට එරෙහිව පිට පිට ලබාගත් 11 වැනි ජයග්‍රහණය ලෙස මෙය ඉතිහාසයට එක්විය.




දඟ පන්දු යවන්නන්ට හිතකර තණතීරුවක කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ කඩුලු කිහිපයක් ඉක්මනින් දැවී ගොස් ලකුණු ලබාගැනීම මන්දගාමී වී තිබුණද, ඉනිමේ අවසන් භාගයේදී කමිඳු මෙන්ඩිස් දියත් කළ ප්‍රවේගකාරී ඉනිම හේතුවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 163ක් රැස්කර ගැනීමට ඔවුහු සමත් වූහ. අයර්ලන්ත පන්දු රකිනන් අතින් උඩපන්දු කිහිපයක් ගිලිහී යාමද ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට මහත් රුකුලක් වූ අතර, පැතුම් නිස්සංක සහ කමිල් මිෂාර ඉනිම ආරම්භ කළද මිෂාරට ජීවිත දාන දෙකක් හිමිවුවද එයින් ඵල නෙළා ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් හතරේ පහර කිහිපයක් සමඟින් පවර්ප්ලේ (PowerPlay) අවස්ථාව තුළ ලකුණු 50ක් කරා කණ්ඩායම රැගෙන යාමට දායකත්වය ලබා දුන්නේය.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ අයර්ලන්ත දඟ පන්දු යවන්නන් වන ජෝර්ජ් ඩොක්‍රෙල් සහ ගැරත් ඩිලනි හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැඩි පීඩනයකට ලක්වූ අතර, පන්දු 56ක් පුරාවට කිසිදු හතරේ පහරක් හෝ එල්ල කිරීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබුණි. 11 වැනි පන්දුවාරයේදී ලකුණු 71කට කඩුලු 3ක් ලෙස සටහන්ව තිබූ ඉනිමට ජීවයක් ලැබුණේ 16 වැනි පන්දුවාරයේදී කමිඳු මෙන්ඩිස් එල්ල කළ හතරේ පහරත් සමඟ වන අතර, ඉන්පසු මැතිව් හම්ප්‍රීස් යැවූ 17 වැනි පන්දුවාරයේදී උඩපන්දු 3ක් ගිලිහී යාමෙන් උපරිම ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකාව එම පන්දුවාරයට ලකුණු 21ක් රැස් කළේය. බැරි මැකාතිගේ 19 වැනි පන්දුවාරය තුළ ලකුණු 19ක් උදුරා ගත් ශ්‍රී ලංකා පිතිකරුවන් අවසන් පන්දුවාර 4 තුළ ලකුණු 59ක් රැස්කරමින් තරගය ජයගැනීමට අවශ්‍ය අඩිතාලම සකසා ගත්හ.




පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම රොස් ඇඩෙයාර්ගේ පිතිහරඹයෙන් මුල් ඕවර කිහිපයේ සාර්ථක ආරම්භයක් ලබා ගත්තද, වනිඳු හසරංගගේ ගුග්ලි පන්දුවක් හමුවේ ඔහු දැවී යාමෙන් පසු මැද පෙළ ඕවරවලදී ලකුණු ලබාගැනීම නැවතත් අසීරු විය. හැරී ටෙක්ටර් සහ ලෝකන් ටකර් එක්ව 15 වැනි පන්දුවාරය වන විට ලකුණු 105ක් දක්වා කණ්ඩායම රැගෙන ගියද, දුනිත් වෙල්ලාලගේ විසින් ටකර්ව දවාගැනීමත් සමඟ තරගයේ පාලනය ශ්‍රී ලංකාව නතු කර ගත්තේය. අනතුරුව ක්‍රියාත්මක වූ මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග ප්‍රතිවාදී කඩුලු පෙළ බිඳ දැමූ අතර, මහීෂ් තීක්ෂණ ලකුණු 23කට කඩුලු 3ක් දවාගනිමින් අයර්ලන්ත ඉනිම ලකුණු 143කට සීමා කර ශ්‍රී ලංකාවට තීරණාත්මක ජයක් හිමිකර දුන්නේය.

gossiplanka image