රුවන්වැල්ල පොලිස් වසමට අයත් මැදගොඩ තල්දූව ප්‍රදේශයේදී අද (08) පස්වරුවේ සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තල්දූව - අමිතිරිගල මාර්ගයේ සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.
පොලිසිය සඳහන් කරන ආකාරයට අමිතිරිගල දෙස සිට තල්දූව දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මෙම මුහුණට මුහුණ ගැටීමත් සමඟ මෝටර් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදියේ ගමන් ගත් පැදිකරු සහ පසුපැදිකරු මෙන්ම මෝටර් රථයේ ගමන් ගත් තිදෙනෙකු ද බරපතල තුවාල ලබා ඇත. වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ පොලීසිය තුවාලකරුවන් පස්දෙනාම අවිස්සාවේල්ල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඉන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය තහවුරු කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු රුවන්වැල්ල පොලීසිය විසින් මේ වන විට ආරම්භ කර ඇත.