ළමා අපචාර චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු ලෙස නම් කර සිටියදී පවා ජෙෆ්රි එප්ස්ටයින් සමඟ ලොව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් වන ඉලොන් මස්ක් සහ මාර්ක් සකර්බර්ග් රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී සිටින ඡායාරූපයක් මේ වන විට කරළියට පැමිණ තිබේ. ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම ලිපිගොනු අතර හමු වූ මෙම ඡායාරූපය මගින් තහවුරු වන්නේ 2015 අගෝස්තු 02 වන දින පැවති මෙම සුපිරි භෝජන සංග්‍රහයට ෆේස්බුක් නිර්මාතෘවරයා සහ මස්ක් එකම මේසයක අසුන්ගෙන සිටි බවයි.
එප්ස්ටයින් විසින් පීටර් ඇටියා සහ ටොම් ප්‍රිට්ස්කර් යන අයට යොමු කළ විද්‍යුත් තැපැල් පණිවුඩ මගින් මෙම හමුව පිළිබඳව පුරසාරම් දොඩා ඇති අතර, ඊට පේපෑල් (PayPal) සම නිර්මාතෘ පීටර් තීල් සහ ලින්ක්ඩ්ඉන් (LinkedIn) සම නිර්මාතෘ රීඩ් හොෆ්මන් ද සහභාගී වූ බව සඳහන් කර ඇත.ළමා අපචාර සම්බන්ධයෙන් වරදකරු වී සිටියදී පවා එප්ස්ටයින් මෙවැනි ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ඇසුරු කරමින් ඒ පිළිබඳව පෞද්ගලිකව සතුටු වී ඇති බව මෙම හෙළිදරව්ව හරහා ගම්‍ය වේ. එප්ස්ටයින් විසින් යොමු කරන ලද පණිවුඩයක මෙම හමුව "ඉතා සුවිශේෂී" (wild) එකක් ලෙස හුවා දක්වා තිබූ අතර, වැනිටි ෆෙයාර් (Vanity Fair) සඟරාව 2019 වසරේදී වාර්තා කළ පරිදි මෙම භෝජන සංග්‍රහය සංවිධානය කර ඇත්තේ ලින්ක්ඩ්ඉන් සම නිර්මාතෘ රීඩ් හොෆ්මන් විසිනි. වාර්තා වන පරිදි කැලිෆෝනියාවේ පැලෝ ඇල්ටෝ හිදී පැවති මෙම හමුව එම්.අයි.ටී (MIT) ස්නායු විද්‍යාඥ එඩ් බොයිඩන් වෙනුවෙන් පවත්වන ලද්දකි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙටා (Meta) සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, අදාළ භෝජන සංග්‍රහය එප්ස්ටයින් විසින් සංවිධානය කරන ලද්දක් නොවන බවත්, එහිදී සකර්බර්ග් ඔහු මුණගැසුණේ අහඹු ලෙස බවත් ඉන් පසුව කිසිදු අවස්ථාවක ඔවුනොවුන් හමු වී නොමැති බවත්ය. එසේම මෙම හමුවේදී තමන් විසින් සකර්බර්ග්ව එප්ස්ටයින්ට හඳුන්වා දුන් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන ඉලොන් මස්ක්, එප්ස්ටයින් යනු අප්‍රසන්න පුද්ගලයෙකු බවත් ඔහු සංවිධානය කළ කිසිදු සාදයකට තමන් සහභාගී වී නොමැති බවත් අවධාරණය කර තිබේ. රීඩ් හොෆ්මන් ද එප්ස්ටයින් ඇසුරු කිරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කර ඇති අතර, නව හෙළිදරව් කිරීම් සමඟ මස්ක් සහ හොෆ්මන් අතර වාග් ප්‍රහාර ද හුවමාරු වී ඇත.