අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල තර කිරීම සඳහා මාර්ගගත ලොතරැයියක් ආරම්භ කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් හා දූෂණ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම පෙබරවාරි 24 වන දින සිදු කර ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ඒ.එම්. ප්‍රියංක මද්දුම බණ්ඩාර අතපත්තු, හිටපු අතිරේක ලේකම් (පාලන) දොරේසාමි සිවානන්දන් සහ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස කටයුතු කළ කළුදේව අරවින්ද ප්‍රියදර්ශනී ද සිල්වා යන තිදෙනායි. මොවුන් අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අදාළ මාර්ගගත ලොතරැයිය සඳහා සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේදී, පළමුව සාර්ථකව තෝරාගනු ලැබූ ආයෝජකයාට ටෙන්ඩරය ප්‍රදානය නොකර රජයට සහ අදාළ ආයතනයට පාඩුවක් සිදු කර ඇති බවට අල්ලස් කොමිසම විසින් අනාවරණය කරගෙන තිබේ. ඊට අමතරව, නැවත වරක් ලන්සු කැඳවීමේ අරමුණින්, පළමු ලන්සු කැඳවීමේදී අසාර්ථක වී ප්‍රතික්ෂේප වූ ආයතනයකට අනුබද්ධ සමාගමකින් රුපියල් දස ලක්ෂයක (රු. 1,000,000/-) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ බරපතළ චෝදනාව ද මෙම සැකකරුවන් වෙත එල්ල වී ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.