රටේ පාලන බලය තමන් වහන්සේට භාර දෙන්නේ නම්, වසර තුනක් වැනි කෙටි කාලසීමාවක් තුළ සමස්ත දිවයිනම සංවර්ධනය කර පෙන්වීමට තමන් සූදානම් බව පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ ඊයේ (24) දිනට යෙදී තිබුණු සිය ජන්ම දිනය වෙනුවෙන් දෙහිවල පිහිටි ආශ්‍රම පරිශ්‍රයේ සංවිධානය කර තිබූ දානමය පුණ්‍යකර්මයට සහ ආගමික වැඩසටහනට එක්වෙමිනි.
මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද සහභාගී වී සිටියහ.මෙහිදී රජයේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළ සමන්තභද්‍ර හිමියන් පෙන්වා දුන්නේ, වැඩ කරන දක්ෂ මිනිසුන්ගේ ගමනට බාධා කිරීමෙන් කිසිදිනෙක රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවයි. පසුගිය වසර නවයක කාලය තුළ උමංදාව මූලික කරගනිමින් සිදුකළ ජාතික මෙහෙවර සිහිපත් කළ උන්වහන්සේ, විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකළ බව කියා සිටියහ. ඊශ්‍රායලය වැනි විදේශීය රටවල රැකියා ඉලක්ක කරගනිමින්, පුහුණු ශ්‍රමිකයන් පන්දහසකට පමණ පහසුකම් සැලසිය හැකි මධ්‍යස්ථානයක් බවට උමංදාව පත් කිරීමට හැකි වූ බව ද එහිදී සිහිපත් කෙරිණි.
එහෙත් වර්තමාන රජයේ පාලනය යටතේ එම ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් අඩාල වී ඇති බවට උන්වහන්සේ චෝදනා නැඟූහ. උමංදාව හරහා පවත්වාගෙන ගිය රෝහල් වැසී යාම සහ වකුගඩු රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකළ ජල පිරිපහදු පද්ධති අක්‍රීය තත්ත්වයට පත්වීම ඊට නිදසුන් ලෙස ගෙනහැර දැක්විණි. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් එකී සමාජ සත්කාරයන් සඳහා සිය ආශීර්වාදය ලබා දුන් නමුදු, වත්මන් පාලකයන් සෘණාත්මක ආකල්පයකින් යුතුව එම වැඩපිළිවෙළට බාධා පමුණුවමින් සිටින බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
මෙම උත්සවයට සහභාගී වී සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් වන සේපාල අමරසිංහ සහ ඉරාජ් වීරරත්න යන මහත්වරුන් සමඟ ද අදහස් හුවමාරු කරගත් ස්වාමීන් වහන්සේ, රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා සියලු මතවාද පසෙකලා එකමුතු වීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කළහ. පවතින අභියෝග හමුවේ සන්ධානගත වීම අත්‍යවශ්‍ය බවත්, එසේ නොවුණහොත් සියලු දෙනාම දුර්වල තත්ත්වයට පත්වීම නොවැළැක්විය හැකි බවත් පෙන්වා දුන් උන්වහන්සේ, ජයග්‍රහණයක් අපේක්ෂා කරන්නේ නම් දැන් හෝ එකා මෙන් පෙළගැසෙන ලෙස ඉල්ලා සිටියහ.
මෑතකදී පැවැත්වුණු සංඝ සම්මේලනය පිළිබඳව ද අදහස් දැක්වූ සමන්තභද්‍ර හිමියන් කියා සිටියේ, තමන් වහන්සේට එහි සංවිධාන කටයුතු භාරවූයේ නම් මීට වඩා ඉහළ ප්‍රමිතියකින් යුතුව එය සිදුකරන බවයි. උමංදාව පරිශ්‍රය ගොඩනඟා ඇති ආකාරය දෙස බලා සුදුස්සාට සුදුසු තැන ලබාදීමේ වැදගත්කම උන්වහන්සේ පෙන්වා දුන්හ. බුදුරජාණන් වහන්සේ පවා මුල්ම සංඝ සම්මේලනය පස් නමකින් ආරම්භ කළ බව සිහිපත් කළ උන්වහන්සේ, සෑම දෙයක්ම ධනාත්මක කෝණයකින් දැකීමේ වැදගත්කම පැහැදිලි කළහ. සමාජය විසින් නිරන්තරයෙන් වැඩ කරන සහ දක්ෂ පුද්ගලයන්ට විවිධ අපහාස කිරීම හේතුවෙන් අද වන විට ජාතියට මෙම පසුබෑම අත්ව ඇති බව පැවසූ උන්වහන්සේ, වැඩ කරන මිනිසුන්ට ඉඩ ලබා දෙන්නේ නම් කෘෂිකර්මාන්තය වුවද ගොඩනඟා පෙන්වීමට තමන්ට හැකියාව පවතින බව ප්‍රකාශ කළහ.
