'මම සේවයේ සිටි කාලයේ පවා එම අශුද්ධ සන්ධානය ඒ අයුරින්ම ක්‍රියාත්මක වුණා. නමුත් මම ඒ පිළිබඳව අවබෝධ කරගෙන සිටි නිසා, එම විසකුරු සර්පයන්ගේ දළ ගලවා දමා මගේ කාලය තුළ මම වැඩ කටයුතු කළා.' යනුවෙන් අද දින නව විගණකාධිපතිවරිය සමුදිකා ජයරත්න මහත්මිය පිළිගැනීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා අදහස් දැක්වූයේය.
ඒ මෙසේය."අපි අපේ ජීවිත සහ කාලය කැප කරමින් ගොඩනැඟූ අපේ ගෞරවනීය දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය විශාල වශයෙන් කෙලෙසීම සඳහා මේ ආයතනය තුළින්ම ගොඩනැඟුණු ඒ අශුද්ධ සන්ධානය විසින් සිදු කළ හානිය නැවත යථා තත්ත්වයට පත් කිරීම (recover) එතරම් ලෙහෙසි වනු ඇතැයි මම සිතන්නේ නැහැ.
අනුන්ගේ අඩුපාඩු සෙවීම අප කරන්නේ රාජකාරි මට්ටමින් පමණයි යන තත්ත්වය අප ගොඩනගා තිබියදී, එය සම්පූර්ණයෙන්ම විනාශ කර තමන්ගේම ආයතනයේ නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු පවා මාධ්‍ය වෙත නිකුත් කරමින්, විගණකාධිපතිතුමියගේ පමණක් නොව විගණන කාර්යාලයේ විධායක සභාවේත්, මහානායක හිමිවරුන්ගේත් පවා නම කැත කළා.
එමෙන්ම ස්වාධීන මාධ්‍යවේදීන් විශාල පිරිසකට අසත්‍ය ප්‍රකාශ කරමින් ඔවුන්ව අසරණ කළා. ජනාධිපතිතුමාටත්, මෙම තනතුර සඳහා ඉල්ලුම් කළ අනෙකුත් වටිනා නිලධාරීන්ටත් මඩ ගැසුවා. මෙම රජයට මෙන්ම පාර්ලිමේන්තුවටත් මඩ ගැසුවා. මේ අපවාදයෙන් මෙම දෙපාර්තමේන්තුව නැවත ගොඩගන්නේ කෙසේද යන කාරණය ගැන අපි දැඩි ලෙස කණගාටු වුණා.
මට මෙම දේශසීමාව (දෙපාර්තමේන්තුව) වසර හතක් තිස්සේ තහනම් කලාපයක් වුවත්, අපි පිටත සිට දෙපාර්තමේන්තුව වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කළා. අප එසේ කටයුතු කරන අතරතුරයි මේ අශුද්ධ සන්ධානය මෙවැනි ක්‍රියාවල නිරත වුණේ.
මම ඉන්න කාලෙත් ඒ අශුද්ධ සන්ධානය ඒ විදිහටම තිබුණා. නමුත් මම ඒක අවබෝධ කරගත්ත නිසා මම ඒ විසකුරු සර්පයන්ගේ දළ ගලවලා තමා මගේ කාලයේ වැඩ කළේ. හැබැයි අවාසනාවකට වගේ පසුගිය වසර හතර තුළ ඒ විසකුරු සර්පයන්ට නැවත කිරි පොවා ඔවුන්ව ඉතා හොඳින් වර්ධනය කර, අද වන විට මර්මස්ථානවල රඳවා තිබෙනවා.
ඒ නිසා මම විශ්වාස කරනවා ඔබතුමියට අලුත් තනතුරේ වැඩ කටයුතු කිරීමේදී ඉතාමත් වැදගත් කාර්යභාරයක් පැවරී ඇති බව. මෙම දෙපාර්තමේන්තුව නැවත නිසි තැනට ගෙන ඒම සඳහා ඔබතුමියට ප්‍රමුඛත්වයක් දී කටයුතු කිරීමට සිදු වෙනවා."