ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දුම්රිය වේදිකාවක් මතට අනපේක්ෂිත ලෙස කුඩා සර්පයෙකු පැමිණීමත් සමඟ මගීන් දැඩි බියට පත්වීමේ පුවතක් වාර්තා වේ. ඕස්ට්‍රේලියාව විෂ සහිත සතුන් බහුල රටක් වුවද, නගර මධ්‍යයේ පිහිටි දුම්රිය ස්ථානයක් තුළ මෙවැනි දසුනක් දැකගැනීමට ලැබීම දුර්ලභ සිදුවීමක් වන අතර පසුගිය ඉරිදා රාත්‍රියේ මෙම සිදුවීමට අදාළ දර්ශන මේ වන විට මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
අදාළ වීඩියෝ දර්ශනවල දැක්වෙන පරිදි දුම්රිය වේදිකාව දිගේ මෙම කුඩා සර්පයා ඇදී එන විට මගීන් කලබලයට පත්ව ආරක්ෂාව පතා එහා මෙහා දිව යනු දක්නට ලැබේ. එහි සිටි එක් කාන්තාවක් සර්පයා දුටු වහාම තමන් රැගෙන ආ පාපැදිය එතැනම දමා ප්‍රතිවිරුද්ධ දිශාවට දිව ගොස් ඇති අතර, සෙසු මගීන් ද බියෙන් තැතිගෙන එකිනෙකාට සමීපව කණ්ඩායමක් ලෙස රැඳී සිට ඇත.
කෙසේ වෙතත් මෙම තත්ත්වය පාලනය කිරීමට ඉදිරිපත් වූ එක් මගියෙක් කිසිදු බියකින් තොරව සර්පයාගේ වලිගයෙන් අල්ලා වේදිකාවේ අත්වැටෙන් පිටතට විසි කිරීමට කටයුතු කර තිබේ. නිව් සවුත් වේල්ස් ප්‍රවාහන බලධාරීන් මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, දුම්රියෙන් බැස ගිය මගියෙකු ස්වකීය කැමැත්තෙන් මෙම අනාරාධිත අමුත්තා ඉවත් කිරීමට ඉදිරිපත් වූ බවත් ඔහු ඉතා නිර්භීතව එම කාර්යය සිදු කළ බවත්ය.