පානදුර උතුර පොලිස් වසමේ පරත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මල්ශාලාවක හිමිකරුවෙකු සහ ඔහුගේ මව හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21 කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටියදී පසුගිය 25 වැනිදා නීතියේ රැහැනට කොටු කර ගැනීමට පානදුර උතුර පොලිසිය සමත් වී තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අදාළ මල්ශාලාව පවත්වාගෙන ගිය 39 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 59 හැවිරිදි මවයි.
මිනී පෙට්ටි ඇතුළේ මත් කුඩු සගවා ප්‍රවාහනය කරද්දී කිසිවෙකුගේ පරීක්ෂාවට ලක් නොවන නිසා මෙම උපාය භාවිත කර ජාවාරම කරගෙන ගොස් ඇත. මෙම සැකකරුවන් විසින් මල්ශාලාවේ සේවය කරන පුද්ගලයන්ද යොදා ගනිමින් දීර්ඝ කාලයක පටන් ඉතා සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. එහිදී පොලිසියට හෙළි වී ඇති වඩාත් පුදුම සහගත කරුණ වන්නේ, මල්ශාලා හිමිකරු විසින් සිය සේවකයින්ට මාසික වැටුප් ගෙවීම වෙනුවට ඒ වෙනුවෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවයි.
පොලිස් භාරයට ගත් හෙරොයින් තොගයේ දළ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට ආසන්න බව ගණන් බලා තිබේ. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම හරහා සැකකරු විසින් නීති විරෝධී ලෙස දේපළ උපයාගෙන තිබේද යන්න සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, සැකකාර මව සහ පුතා රැඳවුම් නියෝග මත තබාගෙන තවදුරටත් ප්‍රශ්න කරන බවත් උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.