කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් රහස් පොලිසිය වෙත විශේෂ නියෝගයක් නිකුත් කරමින්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ගේ සහෝදරයෙකුට අයත් මැණික් සහ රන් ආභරණ ඇතුළු දේපළ සතියක් ඇතුළත ඔහු වෙත මුදාහරින ලෙස දැනුම් දී තිබේ.
මෙම දේපළ, කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් සහ දෙමටගොඩ මහවිල උද්‍යානයේදී බෝම්බ පුපුරුවාගෙන මියගිය ඉන්සාෆ් අහමඩ් යන අයගේ සහෝදරයෙකු වන ඉල් අහමඩ් නමැත්තා විසින් හිමිකම් කියනු ලබන ඒවා වෙයි. දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි අදාළ සැකකරුවන් පදිංචිව සිටි නිවසේ තිබී රහස් පොලිසිය විසින් මෙම වටිනා භාණ්ඩ සිය භාරයට ගෙන තිබුණි.
තම දේපළ යළි ලබාදෙන ලෙස ඉල් අහමඩ් මහතා නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයෙන් කර තිබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය. ඊට විරෝධතා දැක්වීම සඳහා පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් රහස් පොලිසියට ප්‍රමාණවත් කාලයක් ලබා දී තිබුණද, ඔවුන් කිසිදු කරුණු දැක්වීමක් කර නොමැති බව අධිකරණයේදී පෙන්වා දෙනු ලැබිණි. එසේම, පූර්වගාමී මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය සම්බන්ධයෙන් වෙනත් විනිසුරුවරියක විසින් රහස් පොලිසියෙන් වාර්තා කැඳවා තිබුණද එම නියෝගයන් පවා ඔවුන් විසින් නොසලකා හැර ඇති බව මෙහිදී අනාවරණය විය.
ඒ අනුව, ලබාදුන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරමින් නියමිත සතියක කාලය තුළ අදාළ දේපළ අයිතිකරුට මුදා හැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වුවහොත්, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවට මහේස්ත්‍රාත්වරයා තරයේ අවධාරණය කළේය.
පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන සහ තරු පන්තියේ හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවට අදාළව, තවුහීද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් හෙවත් මොහොමඩ් අඩු උබෙයිදා, ඔහුගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව රහස් පොලිසිය මේ වනවිටත් විමර්ශන සිදුකරමින් පවතී. මෙම විමර්ශනවලට අදාළව ඇතැම් සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර තවත් පිරිසක් මුදාහැර තිබේ. මේ අතර, ඇප මත මුදාහැර සිටින ඒ.එච්.එම්. රිෆාස් සහ මොහොමඩ් නිලාම් යන සැකකරුවන් ද පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි අතර, පැමිණිල්ල යළිත් ජුනි 17 වැනිදා කැඳවීමට නියමිතය.