ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'පොඩි ලැසී' හෙවත් අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා අද (27) අලුයම ඉන්දියාවේ මුම්බායි නුවර සිට දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 142 දරන යානයෙන් අලුයම 5.55 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගෙන එන ලදී.
දකුණු පළාතේ මීටියාගොඩ සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන කිහිපයක් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මොහු පොලිසියට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකරුවෙකි. පසුගිය 2024 වසරේ දෙසැම්බර් මස 09 වන දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් දැඩි කොන්දේසි මත මොහුව ඇප පිට මුදාහැර තිබුණද, එම කොන්දේසි උල්ලංඝනය කරමින් ඔහු මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලාගොස් එහි සැඟවී සිට ඇත. ඒ අනුව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ විවෘත වරෙන්තුවකට අනුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පොලිසිය, ඉන්දීය බලධාරීන් සමඟ සිදුකළ සෘජු තොරතුරු හුවමාරුවක සහ රාජතාන්ත්‍රික මැදිහත්වීමක ප්‍රතිඵලයක් ලෙස පසුගිය 2025 ජනවාරි මාසයේදී මුම්බායි නුවරදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
රාජ්‍යයන් අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය, උදර්පණ නීති සහ ආගමන විගමන නීති භාවිත කරමින්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ පොලිස්පතිවරයාගේ සෘජු මැදිහත්වීම මත මෙම පිටුවහල් කිරීම සිදුකර තිබේ. වැඩිදුර විමර්ශන සහ අධිකරණ කටයුතු සඳහා සැකකරු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට සහ ඇල්පිටිය විශේෂ විමර්ශන ඒකකයට භාරදීමට නියමිත අතර, ඔහුගේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලයන් පිළිබඳව එහිදී තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සැකකරු රඳවා තබාගන්නා ඇල්පිටිය පොලිස් ස්ථානය අවට මේ වනවිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ඉල්ලුම සහ සැපයුම අඩපණ කිරීමේ අරමුණින් දියත් කර ඇති 'රටම එකට - ජාතික මෙහෙවර' වැඩසටහනේ සුවිශේෂී පියවරක් ලෙස අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ ශක්තිමත් යාන්ත්‍රණයක් මේ වනවිට ක්‍රියාත්මක වේ. මෙම රාජ්‍ය යාන්ත්‍රණය හරහා 2024, 2025 සහ 2026 යන වසර තුළදී පමණක් ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන මගින් සැකකරුවන් 29 දෙනෙකු මෙරටට ගෙන්වා ගෙන ඇති අතර, අද දින රැගෙන ආ සැකකරු ඇතුළුව රතු නිවේදන නොමැතිව වෙනත් රටවල ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම් හරහා පිටුවහල් කරවාගත් සැකකරුවන් ගණන 14 කි. තවදුරටත් සංවිධානාත්මක අපරාධකරුවන් 89 දෙනෙකු සඳහා රතු නිවේදන ලබාගෙන ඇති අතර, 2026 වසර තුළදී ඔවුන් ද කඩිනමින් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා උපරිම උත්සාහයක් ගන්නා බව බලධාරීන් අවධාරණය කරයි.