ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය මහත්මිය අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිල වශයෙන් සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ. ඇය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී රජයේ නීතිඥවරයා විසින් මෙම කනගාටුව පළ කිරීමේ ලිපිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
පසුගිය 2023 වසරේ පැවති "මෝඩාභිමානය" නම් වූ ප්‍රහසන වැඩසටහනක් අතරතුරදී බුදු දහමට අපහාස වන අයුරින් අදහස් දැක්වූයේ යැයි චෝදනා කරමින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති (ICCPR) පනත යටතේ ඇයව කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසිනි. ඒ අනුව 2023 මැයි 27 වන දින ඇය අත්අඩංගුවට ගෙන ජූලි 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරියා සිය ලිපිය මගින් බලවත් සේ කනගාටුව පළ කර ඇත. තවද, මෙම ක්‍රියාවලිය හරහා ඇයගේ කීර්ති නාමයට කිසියම් හෝ හානියක් මෙන්ම යම් චිත්ත පීඩාවක් සිදුවූයේ නම් ඒ පිළිබඳව ද තමන් කනගාටු වන බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම නඩු විභාගය සඳහා පෙත්සම්කාරිය වන නතාෂා එදිරිසූරිය සහ වගඋත්තරකාර හිටපු ස්ථානාධිපති එස්.එම්.යූ. සුබසිංහ යන මහත්ම මහත්මීන් අධිකරණය හමුවේ පෙනී සිටියහ. එහිදී අගවිනිසුරුවරයා විසින් පෙත්සම්කාරියට දන්වා සිටියේ වගඋත්තරකරු මේ ආකාරයෙන් කනගාටුව පළ කර ඇති බැවින් මෙම පෙත්සම සමථයකට පත් කරගැනීමට එකඟතාවය පළ කිරීම අගය කරන බවයි. ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාග කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර ඇය විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණේ ඇප මත නිදහස් වීමෙන් පසුවය.
මේ අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී සිදුවිය හැකි නීති විරෝධී ක්‍රියාමාර්ග වළක්වාලීම උදෙසා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇති බවයි. එම උපදෙස් මාලාව ඉදිරි දින දෙක ඇතුළත පොලිස් ස්ථාන වෙත යොමු කිරීමට නියමිත බවද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. අධිකරණයෙන් එළියට ආ නතාෂා මාධ්‍ය අමතා මෙසේ කීවාය.
"මාව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගනු ලැබුවා. අද මගේ පරණ නඩුව (Case එක) අධිකරණයේ විභාගයට ගත්තා. මානව හිමිකම් කොමිෂන් සභාව මගින් මගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ලබා දුන් නිර්දේශයත් එතැන තිබුණා. නීතිපති දෙපාර්තමේන්තුව එකඟ වෙනවා නම් සහ දැනට පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ක්‍රියාපටිපාටිය වෙනස් කරන්න කැමති වෙනවා නම්, මම මගේ පෙත්සම ඉල්ලා අස්කර ගන්න එකඟතාවයකට ආවා. ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් තව සති දෙකකින් නිකුත් කරන්න නියමිතයි. ඒ ඇරුණහම මාව අත්අඩංගුවට ගත් නිලධාරියා ඔහුගේ කණගාටුව ප්‍රකාශ කරලා මට ලිඛිතව සමාව ඉල්ලීමක් ලබාදී තිබෙනවා.
මගේ පැත්තෙන් මට කරන්න ඕන වුණේ, මූල්‍යමය වන්දියක් ගන්නවාට වඩා මට වුණ දේ වෙන කෙනෙකුට නොවෙන්න මට මොනවද කරන්න පුළුවන් කියන දේ හොයා බලන එකයි. ඒ සඳහා නීතිමය වශයෙන් කරන්න පුළුවන් උපරිම දේ මං කළා කියලා මං හිතනවා. ඉතින් නීතිමය පද්ධතිය ඇතුළේ එතනින් එහාට කරන්න දෙයක් නෑ.
මාධ්‍යවලින් මේක ප්‍රචාරය කරපු හැටි සහ ඒ දේවල් සම්බන්ධව මට ඊළඟට ප්‍රතිචාර දක්වන්න (Counter press එකක් කරන්න) තියෙනවා. මං හිතනවා ඒ සාධාරණය මට ලැබෙන්න ඕන දෙයක් කියලා. අඩුම තරමේ මාධ්‍ය ආයතන මේ වගේ අවස්ථාවක කොහොමද හැසිරෙන්න ඕනේ කියන එක ගැන කතාවකුත් ඇතිවෙන්න ඕන. "