
සිංහරාජ රක්ෂිත වනාන්තර ප්‍රදේශයේදී ගෝනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් මුල්කරගෙන අත්අඩංගුවට පත් වූ සූරියකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයා ඇප මත මුදා හැරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප බැගින් මුදා හැරීමට ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඩී.එස්.බී. දසනායක මහතා නියෝග කළ අතර ඊට අදාළ නඩුව ලබන මාර්තු මස 26 වන දින යළි කැඳවීමටද එහිදී දින නියම කෙරුණි.
වනජීවී ආඥා පනත උල්ලංඝනය කරමින් සතෙකු දඩයම් කිරීමේ චෝදනාව මත කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය (CCD) මගින් ප්‍රශ්න කිරීම සඳහා කැඳවීමෙන් පසුව මෙම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 06 වනදා ය.
පසුගිය දිනවල අදාළ නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී ගිනි අවියක්ද අතැතිව ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වූ අතර පොලිස් නිලධාරීන් වන සතුන් දඩයමේ ගිය බවට ප්‍රදේශවාසීන් විසින් එහිදී චෝදනා නගා තිබුණි.
කෙසේ වෙතත්, සූරියකන්ද පොලිස් බල ප්‍රදේශයට අයත් ලංකාබේරිය වත්ත ප්‍රදේශයේ දඩයම්කරුවන් පිරිසක් සිටින බවට ලැබුණු තොරතුරක් මත ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් වැටලීමක් සඳහා ගිය බවත්, එම අවස්ථාවේදී සැබෑ සැකකරුවන් ගිනි අවියද දමා පලා ගිය බවත් වාර්තා වී තිබේ.
එම වැටලීමෙන් පසු පලා ගිය සැකකරුවන් දමා ගිය ගිනි අවියද රැගෙන පොලිස් නිලධාරීන් ආපසු එන අවස්ථාව ප්‍රදේශවාසීන් විසින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව පොලිස් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත.
මෙම සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ වීමත් සමඟ සූරියකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා රත්නපුර පොලීසිය වෙත මාරු කර යවා තිබූ අතර, මීට මාස එකහමාරකට පමණ පෙර ප්‍රදේශයේ දේශපාලනඥයෙකුට අයත් බව කියන ගංජා වගාවක් වැටලීමේ සිද්ධියකටද මොහු මූලිකත්වය ගෙන කටයුතු කර තිබූ නිලධාරියෙකු බව පොලීසිය සඳහන් කරයි.

