
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් "ටෘත් සෝෂල්" (Truth Social) සමාජ මාධ්‍ය ජාලයේ පළ කරන ලද ආන්දෝලනාත්මක වීඩියෝවක් හේතුවෙන් මේ වන විට ඔහු දැඩි විවේචනයට ලක්ව තිබේ. හිටපු ජනාධිපති බරැක් ඔබාමා සහ ඔහුගේ බිරිඳ මිෂෙල් ඔබාමා වඳුරන් ලෙස නිරූපණය කරමින් මෙම වීඩියෝව නිර්මාණය කර තිබීම ඊට හේතුවයි.
මිනිත්තුවක පමණ කාලයකින් යුතු මෙම වීඩියෝව මගින් 2020 ජනාධිපතිවරණයේදී ඩොමිනියන් ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය හරහා ට්‍රම්ප්ට එරෙහිව වංචාවක් සිදුවූ බවට චෝදනා කර තිබූ අතර, වීඩියෝව අවසානයේ "ද ලයන් ස්ලීප්ස් ටුනයිට්" ගීතය පසුබිම් වාදනය වෙද්දී ඔබාමා යුවළගේ මුහුණු වඳුරන්ගේ ශරීරවලට බද්ධ කර තිබෙනු දක්නට ලැබිණි. එල්ල වූ විරෝධය හමුවේ ඔහු පසුව එම වීඩියෝව ඉවත් කර ගැනීමට කටයුතු කළේය.මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔබාමාගේ සමීපතම හිතවතෙකු මෙන්ම හිටපු ජාතික ආරක්ෂක උපදේශක බෙන් රෝඩ්ස් ප්‍රකාශ කර සිටියේ මෙය ට්‍රම්ප්ගේ දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස සටහන් වනු ඇති බවයි. අනාගතයේදී ඇමෙරිකානු ජනතාව ඔබාමා යුවළ ගෞරවනීය චරිත ලෙස සිහිපත් කරද්දී, ට්‍රම්ප් ඉතිහාසයේ අඳුරු පරිච්ඡේදයක් ලෙස කියවනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය. මේ අතර කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් ද ට්‍රම්ප්ගේ මෙම හැසිරීම දැඩි ලෙස හෙළා දැක ඇති අතර, එය ඉතා පිළිකුල් සහගත සහ ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත් සියලුම රිපබ්ලිකන් පාක්ෂිකයින් ඊට විරෝධය පළ කළ යුතු බවත් X (ට්විටර්) පණිවිඩයක් මගින් සටහන් කර තිබේ.
ට්‍රම්ප් විසින් මෙවැනි මතභේදාත්මක වීඩියෝවක් පළ කළ පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර ඔබාමා අත්අඩංගුවට පත්වන ආකාරයේ සහ කළු ජාතික නායකයෙකු වන හකීම් ජෙෆ්රිස් විහිළු ස්වභාවයෙන් නිරූපණය වන කෘතීම බුද්ධිය (AI) භාවිතයෙන් තැනූ වීඩියෝ ද ඔහු විසින් බෙදාගෙන තිබිණි. 2020 ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම පවසා සිටියේ තමන් මැතිවරණය ජයග්‍රහණය කළ බවත් තැපැල් ඡන්ද සහ ඡන්ද මැෂින් හරහා මහා පරිමාණ වංචාවක් සිදුවූ බවත් ය. ඇමෙරිකානු මැතිවරණ නිලධාරීන් සහ අධිකරණය විසින් මැතිවරණය සාධාරණ බව තහවුරු කර තිබියදීත්, ට්‍රම්ප්ගේ මෙම චෝදනා හේතුවෙන් 2021 ජනවාරි මාසයේදී ඔහුගේ ආධාරකරුවන් විසින් ඇමෙරිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී කලහකාරී ලෙස හැසිරීමට ද පෙළඹුණි.
ඔබාමා සහ ට්‍රම්ප් අතර මෙම දේශපාලන ගැටුම 2011 වසරේ සිට පැවත එන්නක් වන අතර, ඔබාමාගේ උපත සහ ඇමෙරිකානු පුරවැසිභාවය පිළිබඳව ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රශ්න කිරීම ඊට මූලික විය. ඔබාමාගේ පාලන කාලය තුළ ක්‍රියාත්මක වූ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම, මැදපෙරදිග ප්‍රතිපත්ති සහ ආර්ථික දේහය විවේචනය කරමින් ට්‍රම්ප් නිරන්තරයෙන්ම ඔබාමා දුර්වල නායකයෙකු ලෙස හුවා දැක්වීමට උත්සාහ කර ඇත. එසේම ඔබාමාට නොබෙල් ත්‍යාගය හිමිවීම සම්බන්ධයෙන් ද ට්‍රම්ප් විවිධ අවස්ථාවල විරෝධය පළ කර තිබේ.
වඳුරන් ලෙස නිරූපණය කරන ලද නවතම වීඩියෝව සම්බන්ධයෙන් එල්ල වූ විවේචන හමුවේ අදහස් දක්වා ඇති ට්‍රම්ප්, තමන් බරැක් හෝ මිෂෙල් ඔබාමාගෙන් සමාව නොගන්නා බව ප්‍රකාශ කර ඇත. එම වීඩියෝව තම කාර්ය මණ්ඩලයේ සිදුවූ අතපසු වීමකින් ෂෙයාර් වී ඇති බව පවසා ඇති ඔහු තමන්ගේ වරදක් නොමැති බව අවධාරණය කර තිබේ. මේ අතර තවත් පුවතකින් වාර්තා වන්නේ ඇමෙරිකානු ජනාධිපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප්ගේ ජීවිතය අළලා නිර්මාණය වූ "Melania: 20 Days to History" වාර්තා චිත්‍රපටය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට අපොහොසත් වී ඇති බවත්, ලන්ඩන් නුවර පැවති එහි මංගල දර්ශනය සඳහා අලෙවි වී ඇත්තේ එක් ටිකට් පතක් පමණක් බවත් ය.