කැලණි ගඟේ ඉහළ හංවැල්ල ප්‍රදේශයේ සැරිසරන දැවැන්ත කිඹුලෙකු හේතුවෙන්, ගඟ දෙපස වෙසෙන ජනතාව දැඩි අපහසුතාවයකට හා භීතියකට මුහුණ පා සිටින බව වාර්තා වේ. මීට පෙර ගඟෙන් දිය නෑමට පුරුදුව සිටි බොහෝ දෙනා මේ වන විට ගඟට බැසීමට පවා බියක් දක්වන බව ප්‍රදේශවාසීහු පවසති.
මීට සති කිහිපයකට ඉහතදී ඉහළ හංවැල්ල ප්‍රදේශයේ ගඟ අසබඩ නිවෙසක ඇති කරන ලද සුනඛයකු මෙම කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු සැක පළ කරති. කැලණි ගඟේ පහළ හංවැල්ලේ යකා බැම්ම ප්‍රදේශයේ සහ ඉහළ හංවැල්ලේ තවත් කිඹුලන් කිහිප දෙනෙකු සැරිසරන නමුත්, මේ දැවැන්ත කිඹුලා අඩි 14-15ක් පමණ දිගැති බව වාර්තා වේ. බොහෝ දිනවල කැලණි ගඟේ අනෙක් ඉවුරේ පිහිටි උස්වත්ත කුරුලු උයන ප්‍රදේශයේ ජලයේ පිහිනා යන අයුරු මොහුව දැකගත හැකි බවද සඳහන්ය.
මීට මාස දෙකකට පමණ පෙර ප්‍රදේශයට බලපෑ අධික ගංවතුරත් සමඟ මෙම කිඹුලා එම ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇතැයි යන විශ්වාසයක් පැවතිණි. කෙසේ වෙතත්, මිනිසුන් වාසය කරන ප්‍රදේශවලට පැමිණ නිවෙස්වල ඇති කරන සුනඛයන් පවා ඩැහැගෙන යෑමෙන්, ගඟ අසබඩ නිවෙස්වල පදිංචි ජනතාවගේ ජීවිතවලටද ඉදිරියේදී දැඩි තර්ජනයක් ඇතිවිය හැකි බවට ගඟ දෙපස පදිංචිකරුවෝ දැඩි කනස්සල්ල පළ කරති.