
අබාධිත වන අලියෙකු හුළු අතුවලින් පුළුස්සා ඝාතනය කිරීමේ කෲර සිද්ධියක් වීඩියෝ ගත කළ විශ්වවිද්‍යාල සිසුවාගේ ජංගම දුරකථනය රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමු කර ඊට අදාළ වාර්තාවක් අධිකරණයට කැඳවන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි මෙනවිය විසින් මිහින්තලේ පොලිසියට නියෝග කර තිබේ. ඇස් පෙනීමේ දුර්වලතා සහ ඇවිදීමේ දැඩි අපහසුතා පැවති මෙම අසරණ වන අලියා ඝාතනය කිරීමට අදාළ නඩුව අනුරාධපුර අංක දෙක අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය 23 වැනිදා යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
මෙම අමානුෂික අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සැකකරුවන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිට ඇප මත මුදා හැර ඇත. මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේ අඹගහවෙල හන්දියේ පදිංචි එකම පවුලේ ඥාතීන් වන ජේ. එම්. සිසිර සේනාධීර, ජේ. එම්. ප්‍රසන්න චලින්ද කුමාර සහ ජේ. එම්. වසන්ත විජය කුමාර යන අය මෙලෙස ඇප මත නිදහස්ව සිටින සැකකරුවෝ වෙති. වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරන රජයේ අධිනීතිඥ කලණ කොතලාවල මහතා විසින් මෙම සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු පැවරීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටියි.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරමින් මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් චන්ද්‍රසිරි සහ සැරයන් බණ්ඩාර (33198) යන මහත්වරුන් සමග වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ නලීන් දිමුතු බණ්ඩාර, ඉඳුනිල් හෙට්ටිආරච්චි සහ ප්‍රියදර්ශනී අත්තනායක යන මහත්ම මහත්මීහු කරුණු දැක්වූහ. මීට අමතරව නිරීක්ෂණ පාර්ශ්වයන් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් නීතිඥ චතුර ධනංජය රණතුංග මහතා ඇතුළු තක්සලා ඒකනායක සහ රුවිනි ජයතිලක යන නීතිඥවරියන් ද, සුරකිමු ලංකා සංවිධානය වෙනුවෙන් නීතිඥ සුසිල් සිරිවර්ධන සහ ප්‍රදීප් දිසානායක යන මහත්වරුන් සමග නීතිඥ මදූකා සැල්වඩෝර් මහත්මිය ද අධිකරණය හමුවේ පෙනී සිටියහ.