disciplinary-investigations-against-9-sri-lankan-policemen-for-going-to-shop-in-malima

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) දේශපාලන මණ්ඩලය විසින්, පක්ෂයේ තීරණයට පටහැනිව පළාත් පාලන ආයතන කිහිපයක අයවැය සඳහා පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ එහි මන්ත්‍රීවරුන් නව දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීමට තීරණය කර ඇත. මේ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඊයේ (19) ප්‍රකාශ කළේය.

මෙම තීරණයට එළඹ ඇත්තේ ඊයේ (19) පස්වරුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී, ශ්‍රීලනිප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදීය.




අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන් වත්මන් "මාලිමා" ආණ්ඩුවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම රැස්වීමේදී පුළුල්ව සාකච්ඡා කර ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇති බවත්, ඒ සඳහා කොළඹ මහ නගර සභාවේ අනුමැතිය ලබාගැනීම පිණිස ලිපියක් යොමු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම, මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් කාන්තා පෙරමුණ සංවිධානය කරන සැමරුම් උත්සවයක් මහනුවරදී පැවැත්වීමට ද මෙහිදී තීරණය වූ බව අදාළ නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ඇතුළු දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් රැසක් මෙම රැස්වීමට සහභාගී වූහ.