කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය මහතා පෙරේදා (18) නියෝග කළේ, නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මියගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු ලබන 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. රාජගිරිය, අඹගහහන්දිය ප්‍රදේශයේ ගරාජයක් තුළදී තරුණයකුට සවලකින් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.
සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා අධිකරණයට ඉදිරිපත් කර තිබුණද, එම පෙරෙට්ටුව කල් දැමීමට සිදුවිය. එයට හේතුව වූයේ සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වයේ සාක්ෂිකරු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටීමයි. මෙම තත්ත්වය මත මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.
මෙම සිද්ධියට මාස තුනකට පමණ පෙර රාජගිරිය ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ත්‍රීරෝද රථයක් අතර ගැටීමකින් අනතුරක් සිදුවී ඇති අතර, එම අනතුරින් පසු පැමිණි සැකකරුවන් පිරිසක් විසින් ත්‍රීරෝද රථයේ රියැදුරුට පහරදුන් බවට චෝදනා එල්ල වී තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැලිකඩ පොලිසිය විසින් සිදු කෙරේ. සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ නීතිඥ අචිනි උමයංගනා සහ නීතිඥ ඉමාශි සේනාධීර මහත්මීහුය.