an-interjection-from-minister-nalinda-demanding-one-billion-compensation-from-niroshan-padukka

වත්මන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙන්ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අජන්ත නිරෝෂන් පාදුක්ක මහතා වෙත රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ඉලක්ක කරමින් සිදු කළ ප්‍රකාශයක් පදනම් කරගෙන, සිය කීර්ති නාමයට හානි වූ බව පවසමින් නීතිඥ සම්පත් යාලෙවත්ත මහතා මාර්ගයෙන් මෙම නීතිමය පියවර ගෙන ඇත.




ඉකුත් පෙබරවාරි 01 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී නිරෝෂන් පාදුක්ක මහතා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී, අසාදු ලේඛනගත කරන ලද ඖෂධ සමාගමක හිමිකරුවෙකුට අයත් ණය කාඩ්පතක් භාවිත කරමින් අමාත්‍යවරයා ඉන්දියාවේදී රුපියල් මිලියනයක පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගෙන ඇති බවට චෝදනා කර තිබිණි. මහජනතාවට වැරදි වැටහීමක් ඇති වන ආකාරයෙන් සහ එම කරුණ සත්‍යයක් බව ඒත්තු ගැන්වෙන පරිදි මෙම ප්‍රසිද්ධ ප්‍රකාශය සිදු කර ඇති බවට අමාත්‍යවරයා චෝදනා කරයි.

අදාළ චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, තමන් කිසිදු අවස්ථාවක එවැනි ණය කාඩ්පතක් භාවිත කර නොමැති බව අවධාරණය කර සිටියි. මෙම ප්‍රකාශය පදනම් විරහිත මෙන්ම ද්වේෂසහගත අරමුණකින් සිදු කර ඇත්තක් බවත්, තමන් දූෂිත සහ අමාත්‍ය ධුරයට නුසුදුසු අයෙකු ලෙස හුවා දැක්වීමට දරන ලද උත්සාහයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ හරහා තමන් මෙතෙක් පවත්වාගෙන පැමිණි නිකැළැල් දේශපාලන ජීවිතයට සහ කීර්ති නාමයට දැඩි හානියක් සිදුව ඇති බව ද ඔහු සඳහන් කරයි.




පෙබරවාරි 02 වැනිදා යොමු කරන ලද මෙම එන්තරවාසිය මගින් දැනුම් දී ඇත්තේ, අදාළ අපහාසාත්මක ප්‍රකාශය හේතුවෙන් සිදු වූ හානිය පූර්ණය කිරීම සඳහා රුපියල් බිලියනයක වන්දි මුදලක් දින 14ක් ඇතුළත ගෙවන ලෙසයි. එම කාලසීමාව තුළ අදාළ මුදල නොගෙවන්නේ නම් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද අදාළ ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.