විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් නම් කිරීමට නියමිතව තිබූ අවසන් දිනයට පෙර දින පැවති තරගයේදී ධනංජය ද සිල්වා දැක්වූ අසාර්ථක ක්‍රීඩා විලාශය හේතුවෙන් ඔහුව සංචිතයෙන් ඉවත් කර ඒ වෙනුවට කමිඳු මෙන්ඩිස් කැඳවීමට පියවර ගෙන තිබේ. ලෝක කුසලාන සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ඊයේ (පෙබරවාරි 1) සවස වනතුරුත් සිදු නොවුණ ද, අවසන් මොහොතේ සිදුකළ මෙම වෙනස්කම පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ධනංජය කණ්ඩායමට කැඳවීම හරහා අපේක්ෂා කළ අරමුණු ඉටු නොවූ බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරණයේ පැවති දිගුකාලීන දුර්වලතා මගහරවා ගැනීමේ අරමුණින් වසර දෙකකට පසුව ධනංජය ද සිල්වා නැවත විස්සයි-20 පිටියට කැඳවනු ලැබුවේ පසුගිය ජනවාරි මාසයේ පාකිස්තානයට එරෙහිව පැවති තරගාවලියේදීය. එහෙත් ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණු තරග තුන තුළදී ලබාගත හැකි වූයේ ලකුණු 10, 22 සහ 11ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවක් පමණි. වසර දෙකක් තිස්සේ තරග නොවැදුණු බැවින් ධනංජය ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඇතුළත් නොවූවද, ඔහු වෙනුවට කණ්ඩායමට එක්වන කමිඳු මෙන්ඩිස් එම ශ්‍රේණිගත කිරීම්වල 93 වැනි ස්ථානයේ පසුවෙයි.
පසුගිය 2025 වසර තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ විස්සයි-20 තරග 18ක් අතුරින් ජයග්‍රහණය කර ඇත්තේ තරග 9ක් පමණක් වන අතර පරාජයන් 8ක්ම වාර්තා වී තිබීම හේතුවෙන් කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානය දක්වා පසුබෑමකට ලක්ව ඇත. මෙම පසුබෑමට ප්‍රධානතම හේතුව මැද පෙළ අසාර්ථක වීම බව පසුගිය සිකුරාදා (30) පැවති තරගයෙන්ද මනාව තහවුරු විය. එහිදී මුල් ඕවර 8 අවසානයේ කඩුලු 2කට ලකුණු 79ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටි ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 7ම ලකුණු 54ක් තුළ බිඳ වැටී මුළු ලකුණු සංඛ්‍යාව 133කට සීමා විය.
කණ්ඩායමේ මෙම අසාර්ථකත්වය හේතුවෙන් පසුගිය නොවැම්බරයේදී චරිත් අසලංකගෙන් නායකත්වය ඉවත් කර දසුන් ශානක වෙත නැවත නායකත්වය පැවරීමට ද කටයුතු කෙරිණි. නව වෙනස්කම් සමඟ කණ්ඩායමට එක්වන තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට, මීට පෙර ධනංජය ද සිල්වා වෙත පැවරීමට සැලසුම් කර තිබූ වගකීම් එලෙසම පැවරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව අංක 4 ස්ථානයේ පිතිකරණයේ යෙදීම සහ ඕවර 4ම පන්දු යැවීමේ වගකීම, අත් දෙකෙන්ම පන්දු යැවීමේ හැකියාව සහිත කමිඳු වෙත පැවරෙනු ඇත.
මේ අතර එංගලන්තයට එරෙහි තරගාවලියේ මුල් තරග දෙකේදී දුෂ්මන්ත චමීර වෙනුවට ආදේශකයක් ලෙස යොදාගත් ප්‍රමෝද් මධුෂාන් ද ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිල අනුමැතිය අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ එෂාන් මාලිංග යන ක්‍රීඩකයින් ඇතුළත් වේ.