එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි එක්වීමේ සාකච්ඡා අසාර්ථක වුවහොත්, විකල්පයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ සන්ධානගත වීමේ විශේෂ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය තුළින්ම මතුව තිබේ. එජාප - සජබ දේශපාලන එකතුව බිඳ වැටුණහොත් පක්ෂය නිතැතින්ම එවැනි දේශපාලන තීන්දුවක් වෙත තල්ලු වීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා අතර පවතින දැඩි මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය සුහදතාව හේතුවෙන්, මෙවැනි පුළුල් සන්ධානයක් ගොඩනැගීමේදී දෙපාර්ශ්වයෙන්ම විරෝධයක් එල්ල නොවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කරති. මීට සමගාමීව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා පසුගිය දින කිහිපය තුළ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් සමඟ විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවට ද විශ්වාසවන්ත දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධ කිරීමේ අරමුණින් සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් පැවතුණ ද, එම සාකච්ඡාවල සාර්ථකත්වයක් මෙතෙක් පෙන්නුම් නොකරන බව පක්ෂ දෙකෙහිම ක්‍රියාකාරීහු පෙන්වා දෙති. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මෙම පක්ෂ දෙක එක්ව කටයුතු කිරීමට යෝජනා ඉදිරිපත් වුවත්, සමගි ජන බලවේගයේ නායකත්වය ඊට යහපත් ප්‍රතිචාරයක් නොදක්වීම මත එම වැඩපිළිවෙළ අසාර්ථක විය.
පවතින දේශපාලන වටපිටාව තුළ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත නොවුවහොත් ජයග්‍රහණය තවදුරටත් ඈතට යනු ඇති බවට සජබ ආසන සංවිධායකවරුන් ඇතුළු ප්‍රබල ක්‍රියාකාරීන් පිරිසක් පක්ෂ නායකත්වයට මේ වන විටත් පෙන්වා දී තිබේ. පක්ෂ ඒකාබද්ධ කිරීමට අදාළව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් විශේෂ යෝජනාවලියක් සමගි ජන බලවේගය වෙත යොමු කර ඇතත්, ඊට මෙතෙක් කිසිදු නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වේ. අදාළ යෝජනාවලියට පිළිතුරු ලබා දීම පසෙකලා එජාප මන්ත්‍රීවරුන් සමඟ තනි තනිව සාකච්ඡා කිරීම සන්ධානගත වීමේ ක්‍රියාවලියට පිටුබලයක් නොවන බව පාක්ෂිකයෝ අවධාරණය කරති.