වස්කඩුව ප්‍රදේශයේ පිහිටි අවමඟුල් නිවසක් තුළදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටි විත්තිකරුවන් තිදෙනෙකුට කළුතර මහාධිකරණය විසින් ඊයේ (13) මරණ දඬුවම නියම කරනු ලැබීය. කළුතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
මෙලෙස මරණ දඬුවමට ලක්වූයේ කුඩාවස්කඩුව, ලිටිල්ටන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සුරේෂ් කුමාර, 'රාලහාමි' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සුගත් කුමාර සහ 'බෙටා' ලෙස හැඳින්වෙන සමිත සිසිර කුමාර යන තිදෙනායි. 2008 වසරේ ඔක්තෝබර් මස 23 වන දින හෝ ඊට ආසන්න දිනයකදී මෙම අපරාධය සිදුව ඇති අතර, එහිදී කුඩාවස්කඩුව ලිටිල්ටන්වත්තේම පදිංචි චමින්ද කුමාර නමැත්තාට පිහියකින් ඇන මරණයට පත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මොවුන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරනු ලැබ තිබුණි.
වසර 18ක කාලයක් මුළුල්ලේ පැවැති මෙම දීර්ඝ නඩු විභාගයේදී, පැමිණිලි පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සහ සාක්ෂි මගින් විත්තිකරුවන්ට එරෙහිව නැඟී ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවට මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළේය. ඒ අනුව විත්තිකරුවන් තිදෙනාම අදාළ මනුෂ්‍ය ඝාතනයට වරදකරුවන් කරමින් මෙලෙස මරණ දඬුවම නියම කෙරිණි. නඩු විභාගය සඳහා විත්තිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කණිෂ්ක වන්නිආරච්චි මහතා පෙනී සිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥවරුන් ද, පොලිසිය නියෝජනය කරමින් සැරයන් මනෝජ් නිශාන් (5778) යන මහත්වරුන් ද අධිකරණය හමුවේ පෙනී සිටියහ.