gota-went-to-singapore-after-evading-the-bribery-commission-on-charges-of-illegal-transfer-of-colombo-houses

කොළඹ පිහිටි නිවාස අනීතිකව වෙන අයට පැවරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අවශ්‍ය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ඊයේ (13) පෙනී නොසිටි අතර, ඔහු ඒ වන විටත් දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ. ක්‍රියාත්මක වෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා කොමිසම විසින් ඔහුට මෙම කැඳවීම සිදු කර තිබුණි.




කෙසේ වෙතත්, තමන් කලින් සැලසුම් කළ පරිදි විදෙස්ගත වන බැවින් අදාළ දිනයේදී කොමිසම හමුවට පැමිණීමට නොහැකි බවත්, ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් හිටපු ජනාධිපතිවරයා පෙරේදා (12) කොමිසම වෙත ලිඛිතව දැනුම් දී ඇත. ඒ අනුව ඔහුට ප්‍රකාශයක් ලබා දීම සඳහා ඉදිරියේදී නව දිනයක් ලබා දීමට අල්ලස් කොමිසම මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

කටුනායක ගුවන්තොටුපළේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු තහවුරු කළ පරිදි, ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ පෙරේදා (12) දහවල් 12.50ට පමණ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. මෙම සංචාරය හදිසියේ සිදු වූවක් නොව මීට පෙර සිටම සැලසුම් කර තිබූ එකක් බවද වැඩිදුරටත් අසන්නට ලැබේ.




මෙම විමර්ශනය ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන සිද්ධියක් පදනම් කරගනිමින් ආරම්භ වී ඇත. කොළඹට ආසන්නව පිහිටි නිවාස සංකීර්ණයකින් නිවාස කිහිපයක් නීති විරෝධී අයුරින් පුද්ගලයින් කිහිප දෙනෙකුට ලබා දීම සඳහා නිර්දේශ කරමින් ලිපි නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශ ලබා ගැනීමට ඔහුව කැඳවා තිබුණි.

මේ අතර, අදාළ නිවාස ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන්ම ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු අගවිනිසුරු සහ හිටපු නීතිපති මොහාන් පීරිස් මහතාටද කැඳවීමක් කර ඇත. ඒ අනුව ලබන මස 16 වැනි සඳුදා දිනයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස ඒ මහතාටද මේ වන විට නිල වශයෙන් දැනුම් දී තිබේ.