ඊයේ (13) දින මොරටුව, වීරපුරන් අප්පු විද්‍යාලයේ සිසුවියන් දහතුන් දෙනෙකු, ගුරුවරියන් පස් දෙනෙකු සහ පාසල පිරිසිදු කිරීමේ කටයුත්තක් සඳහා පැමිණ සිටි මවක් ඇතුළු පුද්ගලයන් දහනව දෙනෙකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් දන්වා සිටියේය. මොවුන් කිසියම් රසායනික ද්‍රව්‍යයක් ආඝ්‍රාණය වීම හේතුවෙන් අසනීප වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
ලැබී ඇති තොරතුරු අනුව, මෙම පිරිස රෝහල්ගත කර ඇත්තේ පාසලේ රසායනාගාර පරීක්ෂණයක් අතරතුර රසායනික ද්‍රව්‍යයක් අඩංගු නළයක් බිම වැටී බිඳී යාමෙන් එහි අඩංගු ද්‍රව්‍ය විසිරී යාම නිසාය. මෙම තත්ත්වය හේතුවෙන් ඔවුන්ට හුස්ම ගැනීමට අපහසු වී අසනීප වී ඇති බව රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.
සිද්ධිය වාර්තා වූ වහාම මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන රථ ඒකකය එම ස්ථානයට පැමිණ අවශ්‍ය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකර තිබේ.
රෝහල් ගත කළ සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය. සිද්ධියෙන් පීඩාවට පත් පිරිස රෝහලට ඇතුළත් කළ වහාම වෛද්‍යවරුන් කඩිනමින් ප්‍රතිකාර ආරම්භ කළ අතර, මූලික ප්‍රතිකාරවලින් අනතුරුව ඔවුන් රෝහලේ සිව්වන වාට්ටුවට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයා සඳහන් කළේය.