civil-servant-acquitted-after-18-years-accused-of-misappropriating-government-funds-during-thailand-trip

ආසියානු සංවර්ධන බැංකුව මගින් තායිලන්තයේ සංවිධානය කෙරුණු වැඩමුළුවක් සඳහා ලබා දුන් රුපියල් ලක්ෂ විසිහතරකට අධික මුදලක් අවභාවිත කළ බවට එල්ල වී තිබූ චෝදනාවලින් ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ හිටපු මහලේකම්වරයා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය විසින් මෙම නියෝගය ලබා දුන් අතර, මෙලෙස නිදහස් කරනු ලැබුවේ සමන්ත බණ්ඩාර අබේවික්‍රම නැමැත්තෙකි.




මෙම සිදුවීම මීට වසර දහඅටකට පමණ පෙර සිදුවූවක් වන අතර, 2007 වසරේ ජුනි 12 සහ ඔක්තෝබර් 04 යන කාලසීමාව තුළදී මෙම මුදල් වංචාව සිදුව ඇති බවට නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි. අදාළ විදෙස් සමුළුවට සහභාගී වීම වෙනුවෙන් රුපියල් 2,478,551 ක මුදලක් ඔහු වෙත ලබා දී තිබූ බවට කරුණු තහවුරු වී තිබුණද, එම මුදල් ඔහු විසින් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගත් බවට වන චෝදනාව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇත.

දීර්ඝ කාලයක් පුරා විභාග වූ මෙම නඩුවේදී සාක්ෂිකරුවන් හය දෙනෙකු සාක්ෂි ලබා දී ඇති බව අධිකරණයේදී අනාවරණය විය. 2007 වසරේ සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් 2009 වසරේදී වංචා විමර්ශන කාර්යාංශය වෙත පැමිණිලි කර ඇත්තේ එවකට මණ්ඩලයේ සභාපති නන්දකුමාර මහතාගේ උපදෙස් මත මානව සම්පත් අංශ ප්‍රධානී දයාරත්න පරාක්‍රම බොල්ලෑව මහතා විසිනි. කෙසේ වෙතත්, නඩු විභාගයේදී සාක්ෂි දුන් කිසිදු පාර්ශ්වයක් විත්තිකරු විසින් අදාළ මුදල් සාපරාධී ලෙස පරිහරණය කළ බවට හෝ පෞද්ගලික අවශ්‍යතා සඳහා යොදාගත් බවට තහවුරු කිරීමට සමත් වී නොමැත.




අදාළ ගමනේදී සිදුකළ වියදම් තායිලන්ත සමුළුවට අදාළ නොවන ඒවා බව ඔප්පු කිරීම සඳහා ද කිසිදු ලේඛනයක් ඉදිරිපත් කර නොමැති බව විනිසුරුවරිය සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අවධාරණය කළාය. එමෙන්ම, මුදල් අවභාවිතය පිළිබඳව මුලින්ම කරුණු අනාවරණය කරගත් බව කියන හිටපු සභාපති නන්දකුමාර මහතා සාක්ෂි දීම සඳහා නොකැඳවීම සම්බන්ධයෙන් ද විනිසුරුවරිය තුළ දැඩි සැකයක් මතු වී තිබේ. ඒ අනුව, පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට අපොහොසත් වී ඇති බව නිගමනය කරමින් ඔහු මෙලෙස නිදහස් කෙරුණු අතර, විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුගත් හෙට්ටිආරච්චි මහතා සහ නීතිඥ ඉනෝකා සෙනෙවිරත්න මහත්මිය පෙනී සිටියහ.