ol-from-17th-february

2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,545 කදී 2026 පෙබරවාරි මස 17 වැනිදා සිට පෙබරවාරි 26 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.




මෙවර විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත නිකුත් කර ඇති අතර, විදුහල්පතිවරුන් විසින් තම කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හමුවී එම ප්‍රවේශ පත්‍ර ලබා ගත යුතු වේ.

පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පුද්ගලික ලිපිනයන් වෙත තැපැල් මගින් යොමු කර ඇති බවත්, යම් හෙයකින් ප්‍රවේශ පත්‍රවල නම, විෂයයන් හෝ මාධ්‍ය ඇතුළු තොරතුරු සංශෝධනය කර ගැනීමට අවශ්‍ය නම් අන්තර්ජාලය ඔස්සේ ඊට පහසුකම් සලසා ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.




ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර සංශෝධනය සඳහා විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාමය (Username) සහ මුරපදය (Password) භාවිත කරමින් www.doenets.lk වෙබ් අඩවියට පිවිස අදාළ වෙනස්කම් සිදු කිරීමට විදුහල්පතිවරුන්ට අවස්ථාව පවතී.

පෞද්ගලික අයදුම්කරුවන්ට ද ඉහත වෙබ් අඩවියට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම මගින් අදාළ සංශෝධන සිදු කර ගැනීමේ හැකියාව පවතින අතර, සියලුම සංශෝධන කටයුතු 2026 පෙබරවාරි 10 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර අවසන් කළ යුතු බවත්, කිසිදු හේතුවක් මත එම කාලසීමාව දීර්ඝ නොකරන බවත් විභාග දෙපාර්තමේන්තුව දැඩිව අවධාරණය කර සිටී.



විභාගය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් 1911 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ හෝ 011 2784208 සහ 011 2784537 යන දුරකථන අංක මගින් හෝ 011 2784422 ෆැක්ස් අංකය සහ gceolexamsl@gmail.com විද්‍යුත් තැපෑල මගින් විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගත හැක.