cid-agulane-malli-who-took-ransom-from-a-boss

උසස් පොලිස් නිලධාරීන් හෝ රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් විවිධ ව්‍යාපාරිකයන් බියකර මුදල් ලබා ගන්නා පුද්ගලයන් ගැන නිරන්තරයෙන් අසන්නට ලැබේ. මෙවන් කූට පුද්ගලයන් නීතියේ රැහැනට හසු වූ බොහෝ අවස්ථාද පොලිසිවලට වාර්තා වී තිබේ.

ඉකුත්දා මෙවන් පුද්ගලයකු බොරැල්ලේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට දුරකථනයෙන් අමතා තිබේ. මම තමයි. “අපරාධ කොට්ඨාසයේ එස්.පී. ප්‍රියන්ත. අර අන්ඩර් වර්ල්ඩ් එකේ කෙහෙල්බද්දර පද්මේ ගේ ඉන්කුවරි එක කරන්නේ. මට ඔයා ගැන ඕලුගලත් කිව්වා. අපි පද්මෙගෙ ටැලිෆෝන් ඩීටේල්ස් එකක් ගත්තම ඔයාගේ නොම්මරේත් ඒකේ තියෙනවා. ඔයත් එයාට කතා කරලා තියෙනවා. අපිට ඕන දැනගන්න ඔයා පද්මෙත් එක්ක තිබුණු සම්බන්ධය මොකක්ද කියලා.”




“දුරකථනයේ එහා කෙළවර සිටි පොලිස් ලොක්කා ව්‍යාපාරිකයා අමතා කියන්නට විය.

මෙම ඇමැතුමත් සමඟ බොරැල්ල ව්‍යාපාරිකයා මහත් බියට පත්විය. ඒ ඔහු කිසිදාක කෙහෙල්බද්දර පද්මෙ නමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ කිසිදු සබඳතාවක් පවත්වා නොතිබූ නිසාය. බියට පත් ඔහු වහා මේ බව බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා සිටියේය. එහෙත් බොරැල්ල පොලිසියෙන් ඒ සම්බන්ධ කෙරෙන විමර්ශන ප්‍රමාද නිසා බියට පත් වූ ව්‍යාපාරිකයා තම ජීවිතයට කරදරයක් වේ යැයි සැක කොට මේ බව කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයියාට දැනුම්දී ඇත. ඉන් අනතුරුව මෙම පැමිණිලි සිද්ධිය කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයියා විසින් කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාර හරහා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට භාර කෙරිණි. ඒ අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්තගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් විමර්ශන ඇරැඹීය.




ඔහු මේ තවත් ව්‍යාපාරිකයකුට කී දෙයකි.

“මම සී.අයි.ඩී. එකේ ඩිරෙක්ටර් එස්.එස්.පී. ප්‍රියන්ත. මම තමයි සහරාන්ගේ කේස් එක කරන්නේ. අපි ඒ සම්බන්ධව ටැලිෆෝන් ඩීටේල්ස් චෙක් කරන කොට ඔයාත් එයත් එක්ක ටැලිෆෝන් ගනුදෙනු කරලා තියෙනවා.”



“අනේ නැහැ සර්. මම එහෙම කතා කරලා නැහැ.”

“නැත්තේ මොකද. මේ අපි ගාව බඩු තියෙන්නේ ටැලිෆෝන් ඩීටේල්ස්වලට බොරු කරන්න බැහැ.”

“තාක්ෂණයට බොරු කරන්න පුළුවන්ද?”

“හරි මට මේකෙන් ඔයා ගලවන්න පුළුවන්. බලමු මොනව හරි උදව්වක් කරන්න පුළුවන්ද කියලා. ඔයා මට තව පැය භාගයකින් කෝල් එකක් ගන්න. නැත්නම් මම ගන්නවා. සමහරක් වෙලාවට ඔයාව අපිට ඇරස්ට් කරන්න වෙයිද දන්නෙත් නැහැ.”

මෙම ඇමැතුමත් සමඟ එම ව්‍යාපාරිකයා දැඩි ලෙස බියට පත්ව මෙම උගුලෙන් ගැලවෙන්නේ කෙසේද යන්න කල්පනා කරන්නට විය. ගතවූයේ විනාඩි කිහිපයකි. නැවතත් ඔහුගේ දුරකථනය නාද විය. ඇමැතුම අදාළ සී.අයි.ඩී. ඩිරෙක්ටර්ගෙන්ය.

“හරි දැනට මට මෙහෙම දෙයක් නරන්න. මට තව වාර්තා ටිකක් ගන්න ඕන. ඔයාට පුළුවන්ද මට රුපියල් 32,500ක් එකවුන්ට් එකට දාන්න…”

“පුළුවන් සර්…”

බියට පත් ව්‍යාපාරිකයා කියන්නට විය.

ඒ සමඟම ඔහුගේ ජංගම දුරකථනයට ගිණුම් අංකයක් වැටිණි.

“මම තව නොම්බරයක් දාන්නම්. ඒක මොබයිල් කෑෂ් නොම්මරයක්. ඒකෙන් දාන්න පුළුවන් නම් මටත් පහසුයි.

පොලිස් ඩිරෙක්ටර්ගේ කීමට අවනත වූ එම ව්‍යාපාරිකයා වහා අදාළ රුපියල් 32,500ක මුදල් පෞද්ගලික බැංකුවක ගිණුමකට බැර කරන්නට විය.

මෙවන් තොරතුරු රැසක් විමර්ශන නිලධාරීන් සතු විය. ඒ ව්‍යාපාරිකයන් ඇමැතූ අදාළ පොලිස් ලොක්කාගේ ජංගම දුරකථනය සහ ඔහු විසින් දෙනු ලැබූ බැංකු ගිණුම හරහාය.

මේ අනුව නිලධාරීන්ට පෙනී ගියේ විමර්ශනය ඇරඹි කාලය තුළ පමණක් මෙම පොලිස් ලොක්කා මෙවන් ව්‍යාපාරිකයන් 100 දෙනකුට ආසන්න පිරිසකට දුරකථනයෙන් අමතා මෙලෙස මුදල් ලබාගැනීමට උත්සාහ කර ඇති බවය.

දිගින් දිගටම කරන ලද පොලිස් ලොක්කාගේ ජංගම දුරකථන අංකයට ලබාගත් විශ්ලේෂණ වාර්තා අනුව ඔහු විසින් කතා කරමින් මුදල් ඉල්ලූ ව්‍යාපාරිකයන් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමටද නිලධාරීහු ක්‍රියා කළහ. පසුව කරන ලද දුරකථන විමර්ශනයේදී අනාවරණය වූයේ මොහු පොලිස් අධිකාරිවරයකු නොව මත්කුඩුවලට තදින් ඇබ්බැහිවූවකු බවය.

එමෙන්ම මොහු විසින් ලබාදෙන දුරකථන ඇමැතුමට බියෙන් ව්‍යාපාරිකයන් රැසක් මොහු විසින් ලබාදෙන බැංකු ගිණුමට මුදල් බැර කර ඇති බවද විමර්ශනයේදී අනාවරණය විය.

ඒ අනුව විමර්ශන නිලධාරියෙක් කීවේ දිනපතාම රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් මොහු මෙලෙස විවිධ පුද්ගලයන් බියකොට බැංකු ගිණුමට බැර කර ගෙන ඇති බවය. එම රුපියල් ලක්ෂයක මුදලින් මොහු දිනකට රුපියල් හැටදහසක් වියදම්කොට අයිස් මත්ද්‍රව්‍ය පානය කරන බවත් විමර්ශන නිලධාරියා අවධාරණය කළේය.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා විසින් ලබාගන්නා ලද කප්පම් මුදල් සම්බන්ධයෙන් විවිධ පොලිස් ස්ථානවලටද පැමිණිලි ලැබී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ කොළඹට ආසන්න පොලිසියක ස්ථානාධිපතිවරයකු මොහු කොටු කරගැනීම සඳහා උපාය දූතියක ලෙස තරුණ පොලිස් කොස්තාපල්වරියක්ද යොදවා තිබිණි.

කෙසේ හෝ ඇය මෙම පුද්ගලයා දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් උපායශීලීව ඔහු සමඟ පෙමින් බැඳ ඔහු කිසියම් ස්ථානයකට ගෙන්වා ඔහු අත්අඩංගුවට ගැනීමට යුහුසුලුව තිබේ.

මොහු කිසි දිනෙක සැබෑ රූපයෙන් පෙනී නොසිටින අතර සියලු ගනුදෙනු දුරකථනය හරහා සිදු කරන්නට වග බලා ගෙන තිබේ. කෙසේ හෝ පොලිස් පෙම්වතිය මොහු සමඟ පෙම් බස් දොඩමින් ඔහු දැක බලා ගැනීමට කැමැති බව ප්‍රකාශකොට වීඩියෝ ඇමැතුමක් ලබාගන්නා ලෙස මොහුට පවසා තිබේ. එහෙත් මොහු ඇය සමඟ වීඩියෝ ඇමැතුමට පෙනී සිට ඇත්තේ මුහුණු ආවරණය කර ගනිමින් බව පැවැසේ. කෙසේ වෙතත් දිගින් දිගටම පොලිස් පෙම්වතියගෙන් ලැබෙන ඇමැතුම් මත ඇය ගැන සැක කළ මොහු පොලිසියට මදි මාව තම්බන්න. “ඔයත් පොලිසියේ නේද වැඩකරන්නේ” යනුවෙන් පවසා එතැන් පටන් ඇය සමඟ තිබූ ප්‍රේම සබඳතාව නතර කර ඇතැයිද වාර්තා වේ.

කාන්තා ඇසුරට තද ආශාවක්, ඇති මොහු කොළඹ දකුණ කොට්ඨාසය අපරාධ විමර්ශන නිලධාරීන් විසින් තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් මත බොරැල්ල ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 38 හැවිරිදි රත්මලාන ඇඟුලාන ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මොහු අඟුලානේ මල්ලි නමැති අනවර්ථ නාමයෙන් හැඳින්වෙන්නෙකි.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු මොහු පොලිස් නිලධාරියකු නොවන බවත් පොලිස් නිලධාරීන් බන්ධනාගාරය තුළදී ඇසුරු කිරීම මත පොලිස් නිලධාරියකු සේ දුරකථනයෙන් කතාබහ කිරීමට පුරුදු පුහුණුව ඇති බවත් මොහුට චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි බවත් විමර්ශනයේදී හෙළි වී තිබේ.

ඉංග්‍රීසි භාෂාව ප්‍රයෝජනයට ගනිමින් මොහු ඇතැම් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ට තමා පොලිස් අධිකාරිවරයකු බව ඉංග්‍රීසියෙන් අමතා ඔවුන් බිය ගන්වා කප්පම් මුදල් ලබාගෙන ඇති බවත් පෙනී ගොස් ඇත.

සැකකාර පුද්ගලයා විසින් මෙසේ දුරකථනයෙන් බියකොට ව්‍යාපාරිකයන්ගෙන් ලබාගන්නා මුදල් බැරකොට ඇත්තේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ ගිණුමකට බව නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ.

එම පුද්ගලයා මොහුට මුණගැසී ඇත්තේ මොහු කලක් බන්ධනාගාරව රැඳී සිටියදී බව කියයි. එලෙස එම පුද්ගලයාට බැර වන කප්පම් මුදල් ඊසි කෑෂ් ක්‍රමයට සැකකරු වෙත එවා ඇතැයි විමර්ශනයේදී හෙළි වී තිබේ.

සැකකරු සම්බන්ධයෙන් කරන ලද දීර්ඝ විමර්ශනයේදී අනාවරණය වන්නේ මොහුට එරෙහිව පාදුක්ක පොලිස් වසමෙන් පමණක් මෙලෙස කප්පම් ගැනීමේ සිද්ධීන් 12ක් පමණ ඇති බවය. සැකකරු වරෙක අත්අඩංගුවට පත්ව අධිකරණය මඟින් බන්ධනාගාරගත කර ඇති අතර වසර කිහිපයක්ම ඔහු බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිට ඇති බවද කියන අතර දින කිහිපයකට පෙර ඔහු නිදහස්ව පැමිණ තිබිණි.

එමෙන්ම කොල්ලකෑම් සම්බන්ධයෙන් මොහු කුඩා කල සිටම වසර 17ක කාලයක් බන්ධනාගාරව සිට ඇති බවත් විමර්ශනයේදී හෙළි වී තිබේ.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටීමට පෙර මොහු වෙනත් බන්ධනාගාරවලද රඳවා ඇති අතර පසුව ඔහු එම බන්ධනාගාරගවලින් පැන යෑම නිසා මොහු බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට යවා ඇතැයිද වාර්තා වේ.

සැකකරු සන්තකයේ තිබී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, දුරකථන සිම් තුනක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 3,150 ගණනක් පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

පොලිස් අධිකාරිවරයකු හෝ සී.අයි.ඩී.යේ උසස් නිලධාරියකු සේ රඟපාමින් විවිධ විමර්ශන සඳහා අවශ්‍ය බව කියමින් මුදල් ඉල්ලූ හෝ මුදල් බැර කළ පුද්ගලයන් වෙතොත් වහා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කරන ලෙස එම ඒකකය මහජනයාගෙන් ඉල්ලීමක්ද කරයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය. ඒ ඔහු විසින් කරන ලද මෙවන් කප්පම් ගැනීම් තවත් ඇත්දැයි දැනගැනීම සඳහාය.

කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා සහ කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාරගේ උපදෙස් මත කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්තගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක සුපුන් බණ්ඩාර, කොස්තාපල් කුමාර (26024), විපුල (30861) සහ කීර්තිරත්න (103618) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

(පොලිස් පරීක්ෂණ ඇසුරෙනි.) කීර්ති මෙන්ඩිස්

cid-agulane-malli-who-took-ransom-from-a-boss

cid-agulane-malli-who-took-ransom-from-a-boss