shooter-arrested-prime-suspect-flees-to-thailand

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර, මෙම ද්විත්ව ඝාතනයට පෙර වෙඩික්කරුවකු පන්නිපිටියේ නවාතැන්පලකට රැගෙන ආ බව කියන ප්‍රධාන සැකකරුවෙකු තායිලන්තයට පලාගොස් ඇති බව පොලිසිය පවසයි.




ඝාතනයට සම්බන්ධ වාහන දෙකක්ද අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (21) පස්වරුවේ සිය භාරයට ගෙන තිබේ.

තායිලන්තයට පලාගොස් ඇති බවට සැකකෙරෙන පුද්ගලයා කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම ඝාතනය මෙහෙයවූ බවට සැකකෙරෙන 'කරන්දෙණියේ සුද්දා' නමැති අපරාධකරුගේ සමීපතම ගෝලයෙකු ඔහු බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.




වෙඩික්කරුවන් ප්‍රවාහනය කිරීමට යොදාගත් බවට සැකකෙරෙන ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක් ඇල්පිටිය පොලිස් වසමේ කහදූව ප්‍රදේශයේ නිවසක තිබී අද පස්වරුවේ බස්නාහිර දකුණු අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත මෙම වාහනය සොයාගෙන ඇත.

එමෙන්ම, රටින් පලාගිය සැකකරු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත යාම සඳහා කුලී පදනම මත ලබාගත් මෝටර් රථයද අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබේ. මෙම වෙඩි තැබීම පසුගිය 13 වැනිදා සිදුවී ඇති අතර, ඊට පෙර දින කිහිපය තුළ, එනම් 10 වැනිදා සිට 12 වැනිදා දක්වා කාලය තුළ වෙඩික්කරුවන් කඩවත සහ කොට්ටාව අතර ප්‍රවාහනය කිරීම සඳහා අත්අඩංගුවට ගත් ප්‍රියස් රථය යොදාගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

shooter-arrested-prime-suspect-flees-to-thailand