ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් එයාර් බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (02) නියෝග කළේය. මෙම ප්‍රශ්නගත ගනුදෙනුව සම්බන්ධ නඩුවේ තුන්වැනි සැකකරු ලෙස ශමීන්ද්‍ර රාජපක්ෂ නම් කරන ලෙස නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
2012 සහ 2013 වකවානුවේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර් බස් යානා 10ක් මිලදී ගැනීමට සැලසුම් කිරීමේදී බරපතල දූෂණයක් සිදුව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ අනාවරණය කළේය. වර්තමානය වන විට අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින බව කියන ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගන්නා ලෙසත්, ඔහුට එරෙහිව රතු වරෙන්තු නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී පොලිසියට උපදෙස් ලබා දුන්නේය.
මෙම සිදුවීමට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ සෙසු සැකකරුවන් ලෙස දැනටමත් නම් කර ඇති අතර, ඔවුන් මේ වන විට ඇප මත මුදාහැර සිටිති. බ්‍රිතාන්‍යයේ බරපතල වංචා විමර්ශන කාර්යාලය මගින් 2020 වසරේදී සිදුකළ අනාවරණයකට අනුව, මෙම යානා මිලදී ගැනීමේ ගිවිසුම සඳහා ප්‍රංශයේ එයාර් බස් සමාගම විසින් අමෙරිකානු ඩොලර් මිලියන 16.84ක අල්ලසක් ලබා දීමට එකඟ වී තිබූ බව හෙළි විය.
එම අල්ලස් මුදලෙන් ඩොලර් මිලියන දෙකක ප්‍රමාණයක් කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ විසින් බෲනායි රාජ්‍යයේ පවත්වාගෙන ගිය සමාගමක ගිණුමකට බැර කර ඇති බවත්, පසුව එම මුදල් සිංගප්පූරුව හරහා ඕස්ට්‍රේලියාවේ ගිණුම් වෙත මාරු කර ඇති බවත් විමර්ශනවලදී තහවුරු වී තිබේ. තවදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සිංගප්පූරුවේ සිට මෙරට බැංකු ගිණුම් දෙකකට ද මුදල් හුවමාරු වී ඇති බවත්, ඉන් එක් ගිණුමක් ශමීන්ද්‍ර රාජපක්ෂ මහතාට අයත් බවත්ය.
2013 වසරේදී ශමීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමට මෙලෙස අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ හැට දහසක මුදලක් බැර වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාක්ෂි ඉදිරිපත් කර ඇත. මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් තීරණ ගනු ලැබූ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඔහු සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර, ඊට අදාළ සාකච්ඡා එවකට කතානායක නිල නිවසේ පවත්වා ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. විමර්ශන නිලධාරීන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට උත්සාහ කළ ද ඔහු විදේශගතව සිටීම හේතුවෙන් එය මෙතෙක් සාර්ථක වී නොමැති අතර සිද්ධියට අදාළව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.