පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ පරිශ්‍රය ආසන්නයේදී ඊයේ (02) දහවල් හදිසියේ එල්ල වූ බඹර ප්‍රහාරයකට ලක්වූ පිරිසක් රෝහල්ගත කර තිබේ. මෙම අනතුර හේතුවෙන් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු කඩිනමින් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
රෝහල්ගත කළ පිරිස අතර සිසු සිසුවියන් හය දෙනෙකු සහ විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු සිටින බව පොලිසිය තහවුරු කරයි. ශාස්ත්‍ර පීඨය අසල පිහිටි කිරිහල (Milk Bar) ඉදිරිපිටදී මෙම පිරිස අදාළ බඹර ප්‍රහාරයට මුහුණ පා ඇත්තේ දහවල් කාලයේදීය.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය එල්ල වූ ස්ථානය ආසන්නයේ බඹර කූඩු කිසිවක් පිටතට දක්නට නොතිබූ බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙකු සඳහන් කළේය. එමෙන්ම අදාළ ප්‍රදේශයේ බඹර කූඩු දැකගැනීමට නොමැති බව එහි සිටි සිසුන් විසින්ද ප්‍රකාශ කර තිබේ.
සාමාන්‍යයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අක්බාර් පාලම ආශ්‍රිතව බඹර කූඩු කිහිපයක් නිරන්තරයෙන් දක්නට ලැබෙන ස්ථානයකි. විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සව පැවැත්වීමට සතියක පමණ කාලයක් තිබියදී පාලනාධිකාරිය මැදිහත් වී එම බඹර කූඩු ඉවත් කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස සිදු කරනු ලබයි.