පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට ගත් තීරණය මුල්කරගෙන අද (03) දින පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගැණුනි. අදාළ නිලධාරියාට එරෙහිව ක්‍රියාත්මක වූ පරීක්ෂණ ක්‍රියාවලිය ඉතා අසාධාරණ බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාව තුළ දිගින් දිගටම විරෝධය පළ කළහ.
විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සිය ආසනවලින් නැගී සිට මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවසර ඉල්ලා සිටියද, කතානායකවරයාගෙන් ඊට ඉඩක් නොලැබීමත් සමඟ සභාවේ උණුසුම තවදුරටත් තීව්‍ර විය.
මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කවරදාකවත් කතානායකවරයා සහ ලේකම් මණ්ඩලය අතර මෙවැනි ගැටුමක් නිර්මාණය වී නොමැති බවයි. කීර්තිමත් කතානායකවරුන් දස දෙනෙකු සමග පමණ තමන් කටයුතු කර ඇති බවත්, ලේකම් මණ්ඩලය සභාව පවත්වාගෙන යාමට විශාල රුකුලක් වන බවත් මන්ත්‍රීවරයා සිහිපත් කළේය. අදාළ ලේකම්වරයා විසින් කතානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනුකර ඇති පසුබිමක මෙම ඉවත් කිරීම සිදුව ඇති බවත්, මෙය පාර්ලිමේන්තුවේ ගෞරවයට හානිකර ඉතා භයානක පූර්වාදර්ශයක් බවත් හෙතෙම අවධාරණය කළේය.
කතානායකවරයා විසින්ම කාර්ය මණ්ඩල උපදේශක සභාවට පැමිණිල්ල ඉදිරිපත් කර, එම පරීක්ෂණ මෙහෙයවන ප්‍රධානියාද පත් කිරීම බරපතල ගැටලුවක් බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. චෝදනා ලැබූ නිලධාරියාට නිදහසට කරුණු දැක්වීමට හෝ අවස්ථාවක් ලබා දී නොමැති බවත්, මහලේකම්වරියට එරෙහිවද විනය පරීක්ෂණයක් කැඳවීමට සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් සඳහන් කළ රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන කමිටුවක් පත් කළ යුතු බවට යෝජනා කළේය.
මෙම චෝදනාවලට ප්‍රතිචාර දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම කතානායකවරයාට මෙන්ම ලේකම් මණ්ඩලයටද පැවරෙන වගකීමක් බවයි. මෙවැනි ගැටලුවකදී තීරණ ගන්නා බලධාරී ආයතනය කාර්ය මණ්ඩල උපදේශක සභාව බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, විපක්ෂ මන්ත්‍රීවරුන් ද නියෝජනය කරන එම කමිටුව මගින් අදාළ තීන්දුව ගෙන ඇති බව වැඩිදුරටත් කියා සිටියේය.