ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
පවතින ගැටලුවලට වගකිව යුත්තේ වත්මන් ආණ්ඩුව හෝ තමන් නොවුණද, වෘත්තිකයන් ලෙස තමන් ගැටලු රැසකට මුහුණ දී සිටින බව එම නියෝජිතයන් එහිදී සඳහන් කළා.
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ ජනාධිපතිවරයා, සියලු දෙනාගේ වෘත්තීය අභිමානය සහ ගරුත්වය ආරක්ෂා කිරීම රජයේ අරමුණ බවද අවධාරණය කළා. පාසල් තුළ සේවය කර අත්දැකීම් ඇති උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව විභාගයට පෙනී සිටින ලෙස තමා ඔවුන්ට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
එහිදී ජනාධිපතිවරයා දැක්වූ අදහස්:
"දැන් අපිට අවශ්‍යතාව තියෙන්නේ මේ කණ්ඩායම නීත්‍යානුකූලව ගුරු වෘත්තියට බඳවා ගන්නා පාර මොකක්ද කියන එකයි. ඇත්තටම මේ ප්‍රශ්නය 2023 ඒ වෙලාවෙදිම බේරගන්න තිබුණු ප්‍රශ්නයක්නේ. දැන් අපිට අවශ්‍යකම තියෙන්නේ කොහොමද මේ කණ්ඩායම නීත්‍යානුකූලව ගුරු වෘත්තියට අනුයුක්ත කරගන්නේ කියන කාරණයයි.
භාණ්ඩාගාරය පැත්තෙන් බැලුවත්, මේ පිරිස ගුරු වෘත්තියට ඇතුළු වුණා කියලා ඉතා කුඩා වැටුප් තලයක වෙනස් වීමක් විතරයි තියෙන්නේ. ඔව්, ඒක භාණ්ඩාගාරයට දරාගන්න පුළුවන්. ඒ වගේම සැලකිය යුතු පුරප්පාඩු ප්‍රමාණයකුත් අපි හඳුනාගෙන තියෙනවා.
අපි මේ කණ්ඩායම ගුරු වෘත්තියට පත් කරන්න අපිට තියෙන නීත්‍යානුකූල පාර මොකක්ද? අපිට තියෙන එක පාරක් තමයි විභාගය. විභාගයෙන් ආවා කියලා ගුරු පත්වීමට අලුත් වුණාට රාජ්‍ය සේවයට අලුත් වෙන්නේ නැහැනේ.
ගුරු පත්වීම් දෙන්න ගිහින් වෙච්ච දේ මම දන්නවා. විරුද්ධතාවය... අනිත් අය ඇවිල්ලා පෙත්සම් දාලා මේක විකාරයක් කරනවා. ආයතන ගොඩක පත්වීම් හිර වෙලා තියෙන්නේ අභ්‍යන්තර නඩු ක්‍රියාවලිය හරහා.
එතකොට නීත්‍යානුකූලව බඳවා ගැනීම් කරගැනීමේදී අපිට දැන් තියෙන ආකාර තුනයිනේ. ආකාර තුනෙන් එකක් තමයි විභාගයෙන් එන එක. ඔබතුමාලා වැටෙන්නේ නැහැනේ අනිත් ආකාර දෙකට. මොකද විද්‍යා පීඨයෙන් එන එකට හෝ අධ්‍යාපනවේදී උපාධි හරහා එන එකට වැටෙන්නේ නැහැ නේද?
එතකොට විභාගයේදී අපිට තියෙන ප්‍රශ්නය තමයි, දැන් විභාගය තිබ්බට පස්සේ වුණු දේ. අනිත් උපාධිධාරීන් නඩුවකට ආපු නිසා සමස්තයටම විභාගය තියන්න තිබුණේ. ඇප්ලිකේෂන් 51,000ක් විතර එනවා බැලු බැල්මට. ඕගොල්ලන්ගේ ඉස්කෝලේ ඉන්න ප්‍රමාණයට වඩා වැඩි සංඛ්‍යාවක් අපිට 'ක්ලෝස් එක්සෑම්' (සීමිත තරග විභාගය) එකෙන් ගන්න තියෙන්නේ. නමුත් මෙතන තියෙන ක්ෂණික ප්‍රශ්නය නිසා, මම හිතන්නේ අපි ගන්න පිරිසෙන් වැඩි පංගුවක් මේ අයගෙන් නියෝජනය වෙන්න ගන්න පුළුවන්.
හැබැයි ගන්න ඕන ආයේ නඩුවක් නොවටෙන නීත්‍යානුකූල ක්‍රමවේදය හදන එක තමයි මම හිතන්නේ අපිට තියෙන වගකීම. මේකට විතරක් බලපාන කැබිනට් තීරණයක් අපි ගන්න කියලා හිතමු. හැබැයි කැබිනට් තීරණය ගත්තු හැටියෙ නඩුව යනවා. ඒ නිසා ඕගොල්ලන්ව නීත්‍යානුකූලව, ආයේ බාධාවක් ඇති නොවෙන විදිහට ගන්න ක්‍රමය මම හදන්නම්.
ඕගොල්ලෝ පාසලෙන් එළියට යන්න ඕනේ නැහැ. සංවර්ධන නිලධාරීතුමා හැටියටම වැඩ කරනවා, මේ ඉන්න විදිහටම පාසලේ. ඊට පස්සේ අවශ්‍ය වෙන අනිත් සුදුසුකම් සම්පූර්ණ කරන්න පුළුවන්. අපි සුදුසුකම් ටික කියමු. ඒ සුදුසුකම් සම්පූර්ණ කරනවා නම් අපි බඳවා ගන්නවා.
එතකොට අපිට මේ 16,000න් (දහසයෙන්) යම් ප්‍රමාණයක් පුළුවන් අර නීත්‍යානුකූලවම බඳවා ගන්න. ඉතුරු වෙන කණ්ඩායම... කිසි කෙනෙක් පාසලෙන් එළියට යවන්නේ නැහැ, මම ඒ වගකීම ගන්නවා."
සාකච්ඡාවෙන් අනතුරුව පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් ද මෙලෙස අදහස් පළ කළා:
"මේ සාකච්ඡාවේදී අපි බොහෝ දේ සාකච්ඡා කළා. පැය දෙක හමාරකටත් වඩා වැඩි කාලයක් ජනාධිපතිවරයා අපිත් එක්ක සාකච්ඡා පැවැත්වුවා. ඒ විදිහට සාකච්ඡා පවත්වලා මේ ප්‍රශ්න කතා කළාට බොහොම ස්තූතියි කියලා අපි ජනාධිපතිවරයාටම කියනවා.
අපි බලාපොරොත්තු වෙච්ච කාරණා ගොඩක් සාකච්ඡා කළා සහ සාර්ථක මට්ටමක අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ සාකච්ඡාවේ ප්‍රතිඵල ක්‍රියාත්මක වීම තුළම තමයි සාර්ථකත්වය රඳා පවතින්නේ.
බොහෝ සාධනීය උත්තර ලබා දීපු නිසා මේ ක්‍රියාදාමයන් තාවකාලිකව නතර කරනවා. මේ රටේ විධායක ජනාධිපතිවරයා ලබා දීපු තීන්දු තීරණත් එක්ක, ඒක විශ්වාස කරලා අපි ඒ තීරණය ගන්නවා."