death-to-constables-lover-who-killed-constables-girlfriend

කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා විසින්, පොලිස් කොස්තාපල්වරියක ලෙස සේවය කළ තම තරුණ පෙම්වතියගේ ගෙල කපා අමානුෂික අයුරින් ඝාතනය කිරීමේ වරදට වගකිවයුතු පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවය කළ විත්තිකරුවකුට මරණීය දණ්ඩනය නියම කරන ලදී. විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ගොනු කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බවත්, මරණකාරියගේ ශරීරයේ දක්නට ලැබුණු බරපතළ කැපුම් තුවාල හතළිස් හතකට අධික ප්‍රමාණය සලකා බැලීමේදී විත්තිකරු විසින් මෙම ඝාතනය ඉතා සැලසුම් සහගතව සහ හිතාමතාම සිදු කරන ලද්දක් බව තීන්දු කළ විනිසුරුවරයා මෙම දඬුවම ප්‍රකාශයට පත් කළේය.

කෙසේ වෙතත්, නඩු විභාගය අතරතුර අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීමෙන් පසුව වසර ගණනාවක් තිස්සේ අධිකරණය මඟහැර පලා ගොස් සිටින මෙම විත්තිකරු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා විනිසුරුවරයා විසින් විවෘත වරෙන්තුවක් ද නිකුත් කරනු ලැබීය.




මීට වසර දොළහකට පමණ පෙර, එනම් 2013 වසරේ ජනවාරි මස 07 වන දින පෙරවරු 7.00 ට පමණ කොළඹ පිටකොටුව ලෝටස් පාරේ ලංකා ටෙලිකොම් ආයතනය ඉදිරිපිට පිහිටි ගුවන් පාලම මතදී මෙම අමානුෂික ඝාතනය සිදු කර තිබුණේ ජයසිංහ මුදියන්සේලාගේ නිලන්ත පුෂ්ප කුමාර නම් විත්තිකරුවා විසිනි. එවකට කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයකට අනුයුක්තව සේවය කළ හේරත් මුදියන්සේලාගේ නදිශානි මධුභාෂිකා සමරසිංහ නම් 23 හැවිරිදි මරණකාරිය රාජකාරිය සඳහා මෙම පාලම මතින් ගමන් කරන බව කල්තියා දැන සිටි විත්තිකරු, එතැන රැක සිට ඇය පැමිණි විට බහින්බස් වීමක් ඇති කරගෙන තිබේ. අනතුරුව තමා සඟවාගෙන පැමිණි මන්නා පිහියක් උපයෝගී කරගෙන ඇයගේ ගෙල වෙන්වන ලෙස කපා, පපුව සහ මුහුණ ඇතුළු ශරීරයේ ස්ථාන රැසකට පහර දී ශරීර කොටස් කීතු කීතු වලට කපා දමා, තමා ගෙනා වස කුප්පියෙන් කොටසක් ඇයගේ මුවට හලා ඉතිරිය ඔහු පානය කළ බවත්, එම අවස්ථාවේ පිහිය පෙන්වා අවට සිටි අයට ළං නොවන ලෙස තර්ජනය කළ බවත් ඇසින් දුටු සාක්ෂි මගින් තහවුරු වී තිබිණි.

පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී එකට පුහුණුව ලබා 2009 වසරේදී කොස්ලන්ද පොලිසියේ රාජකාරි කරද්දී මොවුන් අතර ප්‍රේම සබඳතාවක් ගොඩනැගී තිබූ අතර, විවාහ වීමේ අපේක්ෂාවෙන් දෙපාර්ශ්වයේ ඥාතීන්ගේ ආශිර්වාදය ද ඇතිව බිබිල ප්‍රදේශයෙන් පර්චස් 43 ක ඉඩමක් පවා මිලදී ගෙන තිබූ බව හෙළි විය. එහෙත් පසුකාලීනව විවාහ පොරොන්දම් නොගැලපීම සහ විත්තිකරුගේ චරිත ස්වභාවය යහපත් නොවීම යන කරුණු මත මරණකාරියගේ මව මෙම විවාහයට විරෝධය පළ කර ඇති අතර, ඊට උරණ වූ විත්තිකරු ඝාතනයට දින කිහිපයකට පෙර මන්නා පිහියක් සහ වස කුප්පියක් රැගෙන ඇයගේ නිවසට ගොස් මවට යම් බලපෑමක් කර තිබූ බව ද නඩු විභාගයේදී අනාවරණය වී තිබේ. තමා ගුවන් පාලම මතදී ඇය හමුවූ බව සත්‍යයක් වුවද, එහිදී ඇය පැවසූ දේ නිසා සිත් තැවුලට පත්ව තමා වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කළ බවත්, ඇය ඝාතනය වූ අයුරු තමන් නොදන්නා බවත් විත්තිකරු ප්‍රකාශ කළද, එය දඬුවමින් ගැලවීමේ අරමුණින් ගොතන ලද්දක් බව විනිසුරුවරයා තීන්දුවේ සඳහන් කළේය.




ඉතා දුෂ්කර පවුල් පසුබිමක හැදී වැඩුණු මරණකාරිය අධ්‍යාපනයට දක්ෂ අයෙකු වුවද, පියා අහිමි පවුලේ බර කරට ගෙන මව සහ උසස් අධ්‍යාපනය ලබන බාල සහෝදර සහෝදරියන් දෙදෙනා රැකබලා ගැනීම වෙනුවෙන් විශ්වවිද්‍යාල සිහිනය පවා පසෙකලා පොලිස් සේවයට එක්වූ තැනැත්තියක් බවත්, ඊට පෙර පවුලේ කුසගින්න නිවීමට ගඩොල් කැපීම වැනි කුලී වැඩ පවා සිදු කර ඇති බවත් සාක්ෂි විභාගයේදී අනාවරණය විය. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් ජයකොඩි මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ මූලික විමර්ශන සිදු කළ කොටුව පොලිසිය විසින් විත්තිකරුට ඇප ලබා දෙන අවස්ථාවේ විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට නිසි පියවර නොගැනීම හේතුවෙන් ඔහුට මෙලෙස අධිකරණය මඟහැර පලා යාමට ඉඩකඩ විවර වූ බවයි.