a-teacher-who-has-gone-abroad-for-a-part-of-his-employment-will-get-his-lost-pension-back

බලධාරීන් දැනුවත් කිරීමකින් තොරව විදේශගත වීමේ හේතුව මත විශ්‍රාමික කතෝලික සහෝදර ගුරුවරයෙකුගේ විශ්‍රාම වැටුප අත්හිටුවීමට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන තිබූ තීරණය අභියාචනාධිකරණය විසින් බලරහිත කර තිබේ. ඒ අනුව අදාළ විශ්‍රාමික ගුරුවරයාට වහාම සිය විශ්‍රාම වැටුප ගෙවන ලෙසට අධිකරණය විසින් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරමින් නියෝග කර ඇත.




මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ සින්නප්පු සෙල්ලදොරේ නැමැති අදාළ විශ්‍රාමික ගුරු සහෝදරතුමා විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවය. අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගණේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනුණු අතර, එහි වගඋත්තරකරුවන් ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ. අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් විනිසුරු ධම්මික ගනේපොල මහතාගේ එකඟත්වය සහිතව තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම පෙත්සම්කරු ගුරුවරයෙකු ලෙස සේවය කරන අතරතුර කිසිදු නිල දැනුම්දීමකින් තොරව සේවය සඳහා පාකිස්තානය බලා පිටත්ව ගොස් ඇති අතර, පසුව යළි ශ්‍රී ලංකාවට පැමිණ මන්නාරම සේවියර් විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස යළි සේවයට එක්ව තිබේ. එහි සේවය කරමින් සිටියදී ඔහුට විශ්‍රාම වැටුප් අනුමැතිය හිමිව ඇති බවත්, වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසුව ඔහු නිසි පරිදි විශ්‍රාම ගොස් ඇති බවත් අධිකරණ තීන්දුවේ දැක්වේ. එහෙත් ඔහු විශ්‍රාම වැටුප ඉල්ලා සිටි අවස්ථාවේදී, පෙර දිනක නොදන්වා සේවය හැර යාම තුළින් ආයතන සංග්‍රහයට පටහැනිව කටයුතු කර ඇති බව පවසමින් විශ්‍රාම වැටුප් ලබා දීම වගඋත්තරකාර විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත. මෙම තීරණය හේතුවෙන් අගතියට පත් පෙත්සම්කරු ඒ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කර තිබුණි.




පෙත්සම් විභාගයේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජෙෆ් අලගරත්නම් මහතා පෙන්වා දුන්නේ, තම සේවාදායකයා නොදන්වා විදේශගත වීම හේතුවෙන් සේවය හැර ගියා සේ සලකන බවට කිසිදු නිල ලිපියක් ඔහු වෙත ලැබී නොමැති බැවින් ඔහු කිසිදු ආකාරයකින් ආයතන සංග්‍රහය උල්ලංඝනය කර නොමැති බවයි. කෙසේ වෙතත්, වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ආචාර්ය පීෂාන් ගුණරත්න මහතා තර්ක කළේ බලධාරීන්ට පෙර දැනුම්දීමකින් තොරව පාකිස්තානයට යාම හේතුවෙන් ඔහුට විශ්‍රාම වැටුප් ලබාගැනීමේ නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවය.

ඉදිරිපත් වූ සියලු කරුණු සහ පූර්වාදර්ශ නඩු තීන්දු සලකා බැලූ විනිසුරු මඬුල්ල තීරණය කළේ, පෙත්සම්කරු සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා ස්වභාවික යුක්ති මූලධර්මයන්ට අනුකූලව කටයුතු කර නොමැති බවයි. ඒ අනුව, පෙත්සම්කරුගේ විශ්‍රාම වැටුප අහිමි කරමින් නිකුත් කර තිබූ ලිපිය බලරහිත කළ අභියාචනාධිකරණය, ඔහුට හිමිවිය යුතු විශ්‍රාම වැටුප වහාම ගෙවීමට පියවර ගන්නා ලෙසට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කළේය.