අනියම් සැමියාට 'තාත්තා'යයි ආමන්ත්‍රණය නොකිරීම නිසා උරණවී මව හා අනියම් සැමියා එක්ව කෲර වදදී දැරියක ඝාතනය කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය. මෙම සිද්ධිය නිසා හෝමාගම, මාගම්මන ප්‍රදේශයේදී අවුරුදු දෙකයි මාස හතරක් වයසැති කුඩා දැරියක වධ හිංසාවලට ලක්ව අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබුණි.
සමගි මාවතේ, අංක 125/4 දරන නිවසේ පදිංචිව සිටි පරින්දි දිලන්යා නැමැති මෙම සිඟිත්තියගේ මරණයට හේතුව වී ඇත්තේ, පහර කෑමට ලක්වන අවස්ථාවේදී හිස මොට පෘෂ්ඨයක තදින් ගැටීම නිසා මොළයට සිදුවූ බරපතළ හානියක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත. අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගිය 15 වැනිදා හෝමාගම මූලික රෝහලේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පණිත සෙනෙවිරත්න මහතා විසින් සිදු කරනු ලැබීය.පොලිස් විමර්ශනවලට අනුව අනාවරණය වී ඇත්තේ මෙම මියගිය දැරිය සිය මව සහ වැඩිමහල් සහෝදරයා සමඟ අදාළ නිවසේ ජීවත් වී ඇති බවයි. දරුවන්ගේ පියා කුඩා කලදීම පවුල අතහැර ගොස් ඇති අතර, ඉන් අනතුරුව මව වෙනත් පුද්ගලයෙකු සමග සමීප සබඳතාවක් ගොඩනඟාගෙන තිබේ. ගතවූ මාස හතරක පමණ කාලය තුළ අදාළ පුද්ගලයා නිතර නිවසට පැමිණ ඇති අතර, එහිදී දරුවන්ගෙන් තම සබඳතාවට බාධා එල්ල වේයැයි සිතා මව සහ අදාළ පුද්ගලයා යන දෙදෙනාම එක්ව දරුවන්ට නිරන්තරයෙන් බැණ වදිමින් සහ අමානුෂික ලෙස පහර දෙමින් හිරිහැර කර ඇති බවට තොරතුරු හෙළිවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා හෝමාගම මූලික රෝහලට පැමිණ මෘත දේහය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙසට පොලිසියට නියෝග කර තිබුණි. ඒ අනුව කටයුතු කිරීමෙන් පසු මියගිය දැරියගේ දේහය භූමදාන කටයුතු සඳහා ඇයගේ මවගේ බාල සහෝදරිය වෙත භාරදීමට උපදෙස් ලබා දී ඇත. මේ වන විට මෙම අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ. එසේම, සිද්ධියට සම්බන්ධ දැරියගේ මව පසුගිය 16 වැනිදා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.