හිටපු අගවිනිසුරු මෙන්ම හිටපු නීතිපතිවරයෙකු ද වන මොහාන් පීරිස් මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (16) දිනයේදී පැය දෙකහමාරක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. කොමිසම විසින් මීට පෙර ලබා දුන් දැනුම්දීමකට අනුව ඒ මහතා ඊයේ පෙරවරු 9.00 ට පමණ නීතිඥවරුන් පිරිසක් ද සමගින් අදාළ කොමිසම හමුවට පැමිණ ඇත.
මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇත්තේ නිවාස සංකීර්ණයක ඇති නිවාස කිහිපයක් නීති විරෝධී අන්දමින් පුද්ගලයින් කිහිප දෙනෙකුට ලබා දීම සඳහා නිර්දේශ කරමින් ලිපි නිකුත් කිරීමේ සිද්ධියකට අදාළව පවත්වනු ලබන විමර්ශනයක් මුල්කරගෙනය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වීමෙන් අනතුරුව මොහාන් පීරිස් මහතා අල්ලස් කොමිසමෙන් පිටව ගොස් ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ අතර, මෙම නිවාස ලබා දීමේ සිද්ධියට අදාළවම ප්‍රකාශයක් ලබා දීම සඳහා ඉකුත් 13 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද මීට පෙර දැනුම් දී තිබුණි. එහෙත්, තමන් කලින් සැලසුම් කළ පරිදි සිංගප්පූරුවේ සංචාරයක නිරත වීමට නියමිත බැවින් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයා පසුගිය 13 වැනිදා කොමිසම වෙත ලිඛිතව දැනුම් දී ඇත. ඒ අනුව, මෙම විමර්ශනයට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොමිෂන් සභාව විසින් ඉදිරියේදී වෙනත් දිනයක් ලබා දීමට නියමිතව තිබේ.