the-story-of-saving-the-buddhist-flag-in-independence-square-on-independence-day

කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී "ගොඩනගමු ශ්‍රී ලංකා" තේමාව යටතේ පසුගියදා පැවති 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව, එහි ස්ථාපිත කර තිබූ බෞද්ධ කොඩිය ඉවත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම චෝදනාව එල්ල වී තිබූ අතර, 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සිහිගන්වමින් ඔසවා තිබූ බෞද්ධ කොඩිය නිදහස් උත්සවයට මුවාවී ගලවා දමා ඇති බවටත්, එය දින තුනක් ඇතුළත නැවත එසවිය යුතු බවටත් එමගින් අදහස් පලවිය.




කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ අදාළ බෞද්ධ කොඩිය නිදහස් චතුරස්‍රයෙන් ස්ථිරවම ඉවත් කිරීමක් සිදු කර නොමැති බවයි. නිදහස් උත්සවයට පෙර ජනවාරි 29 වන දින පැවති පෙරහුරු අවස්ථාවන්හිදී අදාළ බෞද්ධ කොඩිය එම ස්ථානයේ දිස්වූ අතර, පෙබරවාරි 04 වන දා උත්සව අවස්ථාවේදී පමණක් එය ඉවත් කර තිබුණි. ඉන් අනතුරුව, නිදහස් උත්සවය අවසන් වූ පසු පෙබරවාරි 05 වන දා වන විටත් එය නැවත යථා පරිදි නිදහස් චතුරස්‍රයේ ඔසවා තිබූ ආකාරය ප්‍රධාන මාධ්‍ය වාර්තා මගින් තහවුරු කර තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් පෙන්වා දෙන්නේ, ජාතික උත්සවයකදී ජාතික ධජයට අන් සියලු ධජයන්ට වඩා ප්‍රමුඛතාවය සහ උපරිම ගෞරවය හිමිවිය යුතු බවයි. නිදහස් චතුරස්‍රයේ බෞද්ධ කොඩිය ඔසවා ඇති කණුව, නිදහස් උත්සවය වෙනුවෙන් ජාතික ධජය එසවීමට භාවිතා කළ කණුවට වඩා උසින් පිහිටා තිබීම හේතුවෙන්, ජාතික ධජයට ඉහළින් වෙනත් ධජයක් දෘශ්‍යමාන වීම වැළැක්වීමේ අරමුණින් මෙම තාවකාලික ඉවත් කිරීම සිදු කර ඇත.




මෙය මෙවර පමණක් සිදු වූවක් නොවන අතර, මීට පෙර වසරවලදී ද නිදහස් උත්සවය පැවැත්වෙන අවස්ථාවන්හිදී ජාතික ධජයේ අභිමානය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම ක්‍රියාපටිපාටියම අනුගමනය කර තිබේ. 2011 වසරේ නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් හරහා සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මෙම කොඩිය ප්‍රදර්ශනය කිරීම ඇරඹුණු අතර, සම්ප්‍රදායක් ලෙස එය පවත්වාගෙන ගියද, ජාතික උත්සව අවස්ථාවේදී ප්‍රොටෝකෝලය අනුව එය තාවකාලිකව ඉවත් කර උත්සවය අවසන් වූ වහාම නැවත එසවීමට කටයුතු කර ඇති බව අදාළ බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

the-story-of-saving-the-buddhist-flag-in-independence-square-on-independence-day

the-story-of-saving-the-buddhist-flag-in-independence-square-on-independence-day