සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයට එරෙහිව රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යොමු කර තිබේ. අමාත්‍යවරයාට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සහ එය ප්‍රචාරය කිරීම යන චෝදනා මත මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
පසුගිය 2026 පෙබරවාරි 06 වනදා හෝ ඊට ආසන්න දිනයකදී හිටපු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කර ඇති බව එම නිවේදනයේ දැක්වේ. එහිදී අසාධු ලේඛනගත ඖෂධ සමාගම් හිමිකරුවෙකුට අයත් ණය කාඩ්පතක් භාවිතා කරමින් අමාත්‍යවරයා ඉන්දියාවේදී රුපියල් මිලියනයක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බවට මහජනතාවට ඒත්තු යන ආකාරයෙන් සහ හැඟවෙන පරිදි හිටපු මන්ත්‍රීවරයා විසින් ප්‍රසිද්ධියේ කරුණු දක්වා ඇත.
මෙම ප්‍රකාශය පදනම් කරගනිමින් ස්වර්ණවාහිනී නාලිකාව විසින් 2026 පෙබරවාරි 07 වනදා රාත්‍රී 6.50 ප්‍රවෘත්ති විකාශය ඔස්සේ “Story of the Day” යනුවෙන් විශේෂාංගයක් ලෙස හැඳින්වීමක් ද සහිතව එම පුවත ප්‍රචාරය කර තිබේ. අදාළ ප්‍රවෘත්තිය විකාශය කිරීමට පෙර එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව අමාත්‍යවරයාගෙන් කිසිදු විමසීමක් සිදු නොකළ බවත්, කරුණු දැක්වීමට අමාත්‍යවරයාට එම වැඩසටහන තුළ අවස්ථාවක් ලබා නොදුන් බවත් යොමු කළ එන්තරවාසියේ සඳහන් කර ඇත.
මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බවත්, එය හුදෙක් අමාත්‍යවරයාගේ කීර්ති නාමයට සහ මහජන විශ්වාසයට හානි කිරීමේ ද්වේශසහගත අරමුණින් සිදු කර ඇති බවත් නීතිඥවරයා මගින් යැවූ ලිපියේ අවධාරණය කර තිබේ. එබැවින් සිදු වූ හානිය වෙනුවෙන් විමල් වීරවංශ මහතාගෙන් මෙන්ම ස්වර්ණවාහිනී නාලිකාවට හිමිකාරීත්වය දරන Ben Holdings (PVT) Ltd සහ EAP Broadcasting Company Limited යන ආයතනවලින් රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා ඇති අතර, එසේ නොමැති නම් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් දැනුම් දී ඇත.