පසුගිය 21 වැනිදා මාතර, දෙවිනුවර නගරයේ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී මහ දවල් සිදුවූ වෙඩි තැබීමකින් දෙවිනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි 56 හැවිරිදි සිරිල් හෙන්දාවිතාරණ හෙවත් 'ඩිලයිට් මුදලාලි' නමැති පස්දරු පියෙකු ජීවිතක්ෂයට පත්විය. මාළු ව්‍යාපාරිකයෙකු වූ ඔහු මෙම ප්‍රහාරයට ලක්වූයේ සිය දරුවා උපකාරක පන්තියකට ඇරලවා මාතර - කතරගම ප්‍රධාන මාර්ගයේ කතරගම දෙස සිට මාතර දෙසට තම ත්‍රිරෝද රථය පදවාගෙන එමින් සිටියදීය.
සීසීටීවී දර්ශනවලට අනුව, සුපිරි වෙළෙඳසැල අසල නවතා තිබූ සුදු පැහැති මෝටර් රථයක සිටි සැකකරුවන් දෙදෙනෙකු එක්වරම ත්‍රිරෝද රථය අසලට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් යොදාගෙන කළ මෙම ප්‍රහාරයත් සමඟ ව්‍යාපාරිකයා මාර්ගයට ඇදවැටී ඇති අතර, පාලනයෙන් ගිලිහුණු ත්‍රිරෝද රථය පසුපසට ගොස් විදුලි කණුවක ගැටී නතර වී ඇත. ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරු එම ත්‍රිරෝද රථයෙන්ම මාතර මහ රෝහල වෙත රැගෙන ගියද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය තහවුරු කළේය.
මෑතකදී දෙවිනුවර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් හේතුවෙන් දෙවිනුවරට ඇතුළුවන රස්සන්දෙණිය හන්දියේ සහ පිටවන කපුගම ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධක යොදා තිබුණද, මෙම ඝාතනය එම ස්ථාන දෙක අතර මැදදී සිදුවීම විශේෂත්වයකි. වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් විනාඩි 25ක් වැනි කෙටි කාලයක් තුළ කිලෝමීටර් 20ක් පමණ දුරක් ගෙවා මාලිම්බඩ ප්‍රදේශය පසුකර ගොස් ඇති බව මාර්ගයේ වූ කැමරා දර්ශන මගින් හෙළිවී තිබේ. අනතුරුව ඔවුන් තම මෝටර් රථය අකුරැස්ස පහුරන්විල ප්‍රදේශයේ පාළු මාර්ගයක දමා, එයට ගිනි තැබීමටද අසාර්ථක උත්සාහයක නිරත වී වෙනත් වාහනයකින් පළාගොස් ඇත. අනුරාධපුරයේ කාන්තාවකගේ නමට ලියාපදිංචි කර ඇති එම රථයේ තිබී පතොරම් තුනක්ද විමර්ශකයින් විසින් සොයාගන්නා ලදී.
ඝාතනයට ලක්වූ ඩිලයිට් මුදලාලි නමැත්තා කලක් පාතාල කල්ලි සාමාජිකයෙකු වූ උණාකූරුවේ ශාන්ත නැමැත්තා සමග සමීප සබඳතා පැවැත්වූවෙකු බවත්, ඒ හේතුවෙන් ඔහුට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී තිබූ බවත් පොලිස් වාර්තා පෙන්වා දෙයි. මීට පෙර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක් හරහා දෙවිනුවරට ගෙන ආ බව කියන හෙරොයින් කිලෝ 100ක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඔහුව රඳවාගෙන ප්‍රශ්න කළද, මත්ද්‍රව්‍ය සොයාගැනීමට නොහැකි වූ බැවින් ඔහු එම චෝදනාවෙන් නිදහස් කර තිබිණි. එසේම රිපීටර් වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගැනීමේ චෝදනාව මත මාස 7ක පමණ කාලයක් ඔහු බන්ධනාගාරගතව ද සිට ඇත. මීට අමතරව 2005 වසරේ එක්සත් ජාතික පක්ෂයෙන් දෙවිනුවර ප්‍රාදේශීය සභාවට තරග කර මනාප 2,000කට වඩා ලබාගැනීමට ද ඔහු සමත්ව තිබේ.
මෙම ව්‍යාපාරිකයා මීට පෙරද අවස්ථා දෙකකදී ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන්ගේ වෙඩි ප්‍රහාරවලට ලක්වී දිවි බේරාගත් අයෙකි. තමාට ඇති මරණ තර්ජන පිළිබඳව ඔහු පොලිසියට සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට පැමිණිලි කර තිබූ අතර, ඒ අනුව ඔහුගේ නිවසේ ගේට්ටුව අසල පොලිස් සංචාරක සටහන් පොතක් ද තබා, ප්‍රවේශම් වන ලෙසට පොලිසිය ඔහුට දැනුම් දී තිබිණි. මුහුදුබඩ හෝටලයක සහ බහුදින ධීවර යාත්‍රා කිහිපයක හිමිකරුවෙකු වූ ඔහු, පසුව එම යාත්‍රා විකුණා දමා සිය පුතුන් තිදෙනාගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ව ජපානයට සහ ඩුබායි රාජ්‍යයට යවා ඇති බවද සඳහන් වේ.
මෙම සංවිධානාත්මක ඝාතනය කවුරුන් විසින් සිදුකරන ලද්දක්දැයි මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති නමුදු, දැනට විදේශගතව සිටින 'දෙවිනුවර දෙහිබාලේ මල්ලී' නැමැති මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පාතාල සාමාජිකයා විසින් මෙය මෙහෙයවන්නට ඇති බවට පොලිසිය දැඩි ලෙස සැක කරයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර පොලිස් අධිකාරී කාර්යාලය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් හයක් යොදවා ඇති අතර, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත කෝණ කිහිපයක් ඔස්සේ මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මක වේ.