අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ නම සහ තනතුර ව්‍යාජ ලෙස භාවිතා කරමින් සකස් කරන ලද විද්‍යුත් තැපැල් පණිවුඩයක් (Email) මේ දිනවල මහජනතාව අතර හුවමාරු වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය අනාවරණය කරගෙන තිබේ. විශේෂයෙන්ම "Shani Abesekara, Director of the Criminal Investigation Department (CID)" යන නම සහ නිල තනතුර මෙන්ම, "NationWide Could, Protection 24/7" වැනි වදන් භාවිතා කරමින් මෙම ව්‍යාජ පණිවුඩ යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සමාජගත කරමින් සිටින බව නිරීක්ෂණය වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටින්නේ, අදාළ විද්‍යුත් තැපැල් පණිවුඩ කිසිසේත්ම තම දෙපාර්තමේන්තුව විසින් යොමු කරන ලද්දක් නොවන බවයි. දැනට සිදු කර ඇති විමර්ශනවලට අනුව noucinatacha20@gmail.com සහ police.cid.lk@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයන් භාවිතා කරමින් මෙම වංචනික පණිවුඩ යොමු කර ඇති බවට තහවුරු වී තිබේ.
මහජනතාව රවටා මුදල් වංචා කිරීමේ හෝ රහසිගත පුද්ගලික තොරතුරු ලබා ගැනීමේ අරමුණින් මෙම කූඨ ක්‍රියාව සිදු කරන බවට පොලිසිය සැක පළ කරයි. මෙම ව්‍යාජ පණිවුඩ යොමු කරන ලද පුද්ගලයින් හෝ කණ්ඩායම් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගනිමින්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
එබැවින් ඉහත සඳහන් කළ සැකකටයුතු විද්‍යුත් තැපැල් ලිපිනයන් හරහා ලැබෙන පණිවුඩවල අන්තර්ගතය විශ්වාස නොකරන ලෙසත්, ඊට ප්‍රතිචාර දැක්වීමෙන් හෝ තම පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වැළකී සිටින ලෙසත් පොලිසිය මහජනතාවට දැඩිව අවවාද කර සිටී.