පවුලේ අය සමඟ මෙරට සංචාරයක් සඳහා පැමිණෙමින් සිටි 16 හැවිරිදි චීන ජාතික බාල වයස්කාර දැරියකට ගුවන් යානයක් තුළදී ලිංගික අපයෝජනයක් සිදුකළ බවට සැකකෙරෙන චීන ජාතික මගියෙකු පෙරේදා (18) රාත්‍රියේ සීදූව ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිසිය පවසයි.
සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි චීන ජාතික සංචාරක නියෝජිතයෙකි. ඔහු අදාළ ගුවන් යානයේම ගමන් කර ඇති අතර, මැලේසියාවේ සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් තුළදී මෙම බරපතළ අපයෝජනය සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
ගුවනේදී සිදුවූ මෙම අමානුෂික සිදුවීම, දැරිය මහනුවර ප්‍රදේශයේ සංචාරයක් සඳහා ගිය අවස්ථාවේදී සිය පවුලේ සාමාජිකයන්ට දැනුම් දී තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුව මහනුවර සංචාරක පොලිසියට පැමිණිලි කර ඇති අතර, එම පොලිසිය අදාළ සියලු තොරතුරු කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය වෙත යොමු කර තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් සිදුකළ වැඩිදුර විමර්ශනවලින් අනතුරුව හෙළිවූ තොරතුරු මත සැකකාර චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත. බරපතළ අපයෝජනයට ලක්වූ බවට සඳහන් වන 16 හැවිරිදි චීන ජාතික දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ බවද පොලිසිය සඳහන් කරයි. කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.